එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ට පිතිකරුවෙකු වන ග්රැහැම් තෝර්ප් අද (05) අභාවප්‍රාප්ත වූ බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කළා.
වසර දෙකක ආසන්න කාලයක සිට රෝගාතුරව සිටි තෝර්ප්, මිය යනවිට 55 වැනි වියේ පසුවුණා.
වසර 12කට ආසන්න කාලයක් (1993 – 2005) එංගලන්තය නියෝජනය කළ තෝර්ප්, ටෙස්ට් තරග 100කට ක්‍රීඩාකළ කීර්තිමත් වමත් පිතිකරුවෙක්.
2005 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට හෙතෙම ටෙස්ට් ලකුණු 6,744ක් රැස්කර සිටියේ, ද්විත්ව ශතකයක් (නොදැවී 200) ඇතුළුව ශතක 16ක් හා අර්ධ ශතක 39ක් සමගින්.
ඊට අමතරව ඔහු එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 82කටද ක්‍රීඩාකර ලකුණු 2,380ක් රැස්කර තිබුණා.
එංගලන්ත සරේ ප්‍රාන්ත කණ්ඩායමේ නම් දැරූ පිතිකරුවෙකුද වන හෙතෙම, 1988 – 2005 කාලසීමාවේදී එම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 20,000කට ආසන්න ප්‍රමාණයක් රැස්කර තිබෙනවා.
එමෙන්ම එංගලන්ත ජාතික කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරුවෙකුද වන තෝර්ප්, 2022 වසරේදී ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්ද නම්කරනු ලැබුවා.
කෙසේ නමුත් ඉන් ටික කලකට පසු ඔහු බරපතළ ලෙසින් රෝගාතුර වුණා. ඔහුගේ රෝගී තත්ත්වය කුමක්දැයි මෙතෙක් සඳහන් වී නැහැ.