අර්බුදයට තුඩුදී තිබෙන බංග්ලාදේශයේ වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා අද (06) අන්තර්වාර රජයක් පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මසකට අධික කාලයක් බංග්ලාදේශ රජයට එරෙහිව එල්ල වූ ජනතා විරෝධය ඊයේ අවසන් වුණා.
ඒ අගමැතිනි ෂෙයික් හසීනා සිය වසර 15ක අඛණ්ඩ පාලනය අතහැර ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා යාමෙන් පසුවයි.
විරෝධතා අතිශය ප්‍රචණ්ඩකාරී වීමත් සමග ඩකා අගනුවර අගමැති නිල නිවසට ජනතාව ඊයේ කඩාවැදුණි.
එහි දේපළ රැසකට හානි කළ ඔවුන් නිල නිවසේ භාණ්ඩ පවා සොරකම් කොට රැගෙන යන අයුරු විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක්වුණි.
පසුව විරෝධතාකරුවන් බංග්ලාදේශ පාර්ලිමේන්තුවටත් ඇතුළුවී තිබුණා. එමෙන්ම ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊයේ පස්වරුවේ සිට පැය 6කට වසා දැමුණේ ද ප්රචණ්ඩ ක්‍රියා අවදානම හේතුවෙන්.
විරෝධතාකරුවන් ඉන්දිරා ගාන්ධි සංස්කෘතික මධ්‍යස්ථානයට මෙන්ම බන්ගබන්දු අනුස්මරණ කෞතුකාගාරයටත් ගිනි තබා තිබුණා.
මේ අතර රැකියා කෝටාවෙන් ආරම්භ වී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දක්වා පැතිරගිය විරෝධතාව වෙනත් මානයකට ගිය අවස්ථාද එරටින් වාර්තාවුණා. ඒ විරෝධතාකරුවන් එරට සුළුතර හින්දු ප්‍රජාව ඉලක්ක කරමින් ඔවුන්ගේ නිවාසවලට සහ හින්දු දේවස්ථානවලටත් ප්‍රහාර එල්ල කිරීමත් සමඟින්.
ඔවුන් එලෙස නිවසකට අමානුෂිකව පහරදෙන ආකාරය සහ දේවස්ථාන ගිනිබත් කර තිබුණු අතර සුළුතර හින්දු ප්‍රජාව ආරක්ෂා කිරීමේ අරමුණින් හමුදාව යෙදවීමට හමුදා ප්‍රධානියා ඊයේ රාත්‍රියේම පියවර ගෙන තිබුණා.
ඒ අතර ඉස්ලාමීය පූජකවරු මෙන්ම ඇතැම් මුස්ලිම් ප්රජාවද හින්දු දේවස්ථාන ආරක්ෂා කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බංග්ලාදේශයේ එලෙස ගැටුම් ඇවිළෙද්දී එංගලන්තය , ප්‍රංශය ඇතුළු රටවල සිටින බංග්ලාදේශ ජනතාවත් ෂෙයික් හසීනා ධුරයෙන් පළායාම සැමරුවා. කෙසේවෙතත් ජනතා විරෝධය මැද පළාගිය ෂෙයික් හසීනා දැනට ඉන්දියාවේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
ඇගේ පියා වූ මුජිබර් රහ්මාන් 1975 වසරේ දී ඝාතනය වූ අවස්ථාවේදීත් ඉන්දියාවට පළාගිය හසීනාට ඉන්දියාවේ දේශපාලනය සරණාගතභාවය පිරිනමා තිබුණා.
මෙවර ඇය එංගලන්ත සරණාගතභාවය බලාපොරොත්තුවෙන් සිටින අතර එතෙක් ඉන්දියාවේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ෂෙයික් හසීනාගේ පුත්‍රයා පවසා ඇත්තේ සිය මව යළි දේශපාලනයට එක්වනු නොමැති බවයි.
උද්ගත වූ දේශපාලන අස්ථාරවරත්වය පාලනය කිරීමට එරට හමුදාව, ජනාධිපති මොහොමඩ් ශහබුද්දීන් හා අනෙකුත් දේශපාලන නායකයින් එක්ව තීරණය කළේ රට තුළ අන්තර්වාර රජයක් පිහිටුවීමටයි.
ඒ අනුව, අද බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර විරෝධතා අතරතුර දී අත්අඩංගුවට ගත් 10,000ක් පමණ වන පිරිස මෙන්ම ෂෙයික් හසීනාගේ ප්රබලතම ප්‍රතිවාදියා ලෙස පැවසෙන බංග්ලාදේශ හිටපු අගමැතිනි කලේඩා සියා නිදහස් කරන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.