1982 පැවති පළමු ජනාධිපතිවරණයේදී මෙන්ම පසුව පැවති සෑම මැතිවරණයකදීම ප්රමුඛ අපේක්ෂකයන් දෙදෙනෙක් පමණක් සිටි අතර ඔවුන්ගෙන් එක් අයෙක් 50% කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබා සම්පූර්ණ ජයග්‍රහණයක් ලබා ගෙන තිබෙනවා. එබැවින් ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දෙවැනි මනාපයක් ගණන් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ.
කෙසේවෙතත් මෙවර දර්ශනය ඊට හාත්පසින්ම වෙනස් බව පෙනෙන්නට තිබෙනවා. බොහෝ මත විමසුම් අනාවැකි පළ කරන්නේ ප්රමුඛ අපේක්ෂකයා ඡන්දවලින් 40%කට වඩා අඩු ප්‍රමාණයක් ලබන බවත් සෙසු ඡන්ද අනෙකුත් ප්රමුඛ තරඟකරුවන් අතර 15% සිට 30% දක්වා බෙදී යන බවත්ය. බොහෝ විශ්ලේෂකයන් එකඟ වන්නේ පැහැදිලි ජයග්‍රාහකයෙකු නොමැති අතර ජනාධිපති ධුරය සඳහා බරපතල තරඟයක් පවතින බවයි.
කෙසේවතත් අපේක්ෂකයන් කිසිවෙකුට 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නා තත්වයක් තුළ දෙවැනි මනාපයේ වැදගත්කම මතුවෙනවා. එනම් කිසිදු අපේක්ෂකයෙකු සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නේ නම් අපේක්ෂකයන්ගේ දෙවන තේරීම් ගණනය කිරීමට අවශ්‍ය වනවා. එවිට පරාජිත අපේක්ෂකයන් සඳහා ලබා ගත් ඡන්ද ගණන් කරනු ලබනවා. අවසාන ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා ඔවුන්ගේ දෙවන සහ තෙවන මනාපයන් පළමු අපේක්ෂකයන් දෙදෙනාට එකතු කරනු ලබනවා.
A,B,C,D සහ E යනුවෙන් අපේක්ෂකයන් පස්දෙනෙකු සිටීනම් ඔවුන් සියල්ලන්ම ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 100ක් යැයි සිතමු. A 40, B 35, C 15, D 6 සහ E 4 යැයි උපකල්පනය කරමු. එවිට සෙසු අ්කයන් ඉවත් කර පළමු සහ දෙවන අපේක්ෂකයන් ලෙස A සහ B අතර තරගය පවතියි. ඉවත් කළ අපේකෂකයන්ගේ ඡන්ද පත්‍රිකාවල සලකුණු කර ඇති දෙවන හෝ තෙවන මනාපයන් දෙවන වටයේදී ගණන් කරනු ලබනවා.
එවිට C සඳහා ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ගණන් කිරීම ප්‍රථමයෙන් සිදු කෙරෙනවා. ඡන්ද දායකයෙකු තම පළමු මනාපය C ට සහ දෙවනුව A හෝ B සඳහා ලකුණු කර ඇත්නම් එය A හෝ B සඳහා ඡන්දයක් ලෙස සලකනු ලබනවා. ඒවිට මෙම ඡන්ද පත්‍රිකාව A හෝ B සඳහා වූ ඡන්ද ගොඩට ඇතුල් කරනු ලබනවා. එසේම C සදහා පළමු තේරීම ලෙස සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවක් D හෝ E සඳහා දෙවන හෝ තෙවන මනාප දරයි නම් මෙම දෙදෙනා තරගයේ නොමැති හෝ ඉවත් වූ අපේක්ෂකයන් නිසා එය සලකා බලනු නොලැබේ.
ඒ හා සමානව ඡන්ද දායකයෙකු පළමු මනාපය C ට දෙවනුව D හෝ E සහ තෙවනුව A හෝ B සඳහා ඡන්දය සලකුණු කළහොත් ඒය A හෝ B සඳහා ඡන්දයක් ලෙස සලකනු ලැබේ.
ඒ අනුව C,D සහ E සඳහා පළමු මනාපය ලකුණු කළ ඡන්ද පත්‍රිකා A සහ B සඳහා සලකුණු කර ඇති දෙවන සහ තෙවන මනාප අනුව එම දෙදෙනා අතර බෙදී යනවා.
A ට දෙවන සහ තෙවන මනාප අනුව අමතර ඡන්ද තුනක් ලැබුණා යැයි අපි උපකල්පනය කලහොත් ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 43 දක්වා ඉහළ යාමත් සමග B ට තවත් අමතර දෙවන මනාප ඡන්ද දහයක් ලැබුණහොත් B ට ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාව 45 ක්. මුළු එකතුව දැන් 88ක්. එයින් B ට සියයට පනහකට වඩා වැඩි ප්‍රමාණයක් ලැබුණු නිසා B ජනාධිපති ලෙස ප්‍රකාශ කරනු ලබනවා. දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිරීමෙන් පසු දෙදෙනාගෙන් කිසිවෙකුට අමතර ඡන්ද නොලැබුණහොත් පළමු වටයේදීම වැඩිම සංඛ්‍යාවක් හිමි A අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරෙනවා.
අසාමාන්‍ය තත්වයක් යටතේ A සහ B යන දෙදෙනාම සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබාගතහොත් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිසමට කාසියේ වාසය බැලීමට සිදුවනවා. ඡන්ද දායකයන්ට තමන් කැමති අපේක්ෂකයන්ගේ සංකේත ඉදිරියේ 1,2 හෝ 3 ලෙස තම මනාපය සලකණු කළ හැක. ඔවුන් තම පළමු තේරීම සඳහා x ලකුණින් ඡන්දය දීමට යොදා ගන්නේ නම් ඔවුන්ගේ දෙවන මනාපය ලෙස 2 සහ ඔවුන්ගේ තෙවන මනාපය ලෙස 3 සලකුණු කළ හැකියි. පළමු වයේදී සියයට 40ක් ලබා ගත් අපේක්ෂකයෙකුට දෙවන මනාපය වඩාත් වාසිසහගත වනු ඇත. මන්ද දෙවන මනාපය පළමු අපේක්ෂකයන් දෙදෙනා අතර සමානව බෙදී ගියද දැනටමත් ඉදිරියෙන් සිටින අපේක්ෂකයා ජයග්‍රාහකයා වීමට වැඩි ඉඩක් තිබෙන බැවිනි. කෙසේවෙතත් යමෙකුගේ පළමු මනාපය සියයට 30ක් හෝ ඊට අඩු අගයක් ගනී නම්, ඔහුට දෙවන මනාපය ලෙස ඔහුට විශාල ඡන්ද සංඛ්‍යාවක් අවශ්‍ය වේ.