සෑම මැතිවරණයකදී ම තැපැල් ඡන්ද ප්‍රතිඵල අනෙක් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර නිකුත් වනවා.
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේ ම තැපැල් ඡන්ද වැඩියෙන් ම ලැබූ අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණයේදී පෙනී යන කරුණක්.
එමෙන් ම, ඇතැම් ජනාධිපතිවරණවල වැඩි ම ඡන්ද හිමි කර ගත් අපේක්ෂකයන් දෙදෙනා අතර ඇති පරතරය ද ඉතා අඩුයි.
2005 ජනාධිපතිවරණය එයට නිදසුනකි. එවැනි අවස්ථාවක අපේක්ෂකයන් ලබා ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තීරක සාධකයක් විය හැකියි.
තැපැල් ඡන්ද ක්‍රමය යනු ලෝකයේ පවතින ඡන්ද ක්‍රමවල පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක්. වෙනත් රටවල වෙනස් අරමුණු සඳහා තැපැල් ඡන්දයට සමාන ක්රමයන් යොදාගත්ත ද ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය තුළ එය යොදාගනු ලබන්නේ, මැතිවරණ දිනයේ රාජකාරිවල නියුතු නිලධාරීන්ට හා අත්‍යවශ්‍ය සේවාවල නියුතු අයට ඡන්දය ප්‍රකාශ කිරීමටයි.
තැපැල් ඡන්ද ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ආරම්භ වූයේ, සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය ආරම්භ වීමට පෙරයි. 1959 අංක 11 දරන ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනතෙන් පළමු වරට තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ට හිමිව තිබෙනවා.
එම පනතට අනුව සන්නද්ධ හමුදාවල සාමාජිකයන්, පොලිස්, දුම්රිය, දුරකතන හා තැපැල් සේවාවල නිලධාරීන් හෝ සේවකයන් ද මැතිවරණ රාජකාරිවල නියුතු රජයේ සේවකයෝ ද මෙලෙස තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන අය වනවා.
පළමු වරට මැතිවරණයකදී තැපැල් ඡන්දය භාවිත කළේ, 1960 පැවති මහ මැතිවරණයේදීයි.
එම කාලයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූයේ, සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය වන අතර ශ්‍රී ලංකාව පැවතියේ ඩ්රොමීනියන් නිදහසක් ලැබූ රටක් ලෙසයි.
1960 මාර්තු මහමැතිවරණයට රාජ්‍ය සේවකයන් 18,246ක් තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ බව 1960 පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියේ දැක්වෙන වාර්තාවේ සඳහන් වනවා.
1960 ජුලි මැතිවරණයේදී එය 26,665ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 1965 වන විට එම සංඛ්‍යාව 34,000කට ආසන්න සංඛ්‍යාවක්.
මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට 712,319 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා.