හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා ඒ බව ප්‍රකාශ කළා.
“දැනට හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියලා තිබුණා එතුමියගේ ආරක්ෂාව ඉවත් කරනවා කියලා. එහෙම ඉවත් කිරීමක් කරලා නැහැ. එතුමිය ලිපියක් එවලා තිබුණා 30ක් දක්වා අඩුකරනවා කියලා ඒක වැරදියි. එතුමියට දැනටත් 57 දෙනෙක් දීලා තිබෙනවා. අපි ඒ ගණන් මිනුම් කියන්න කැමති වුණේ නැහැ. නමුත් එතුමිය ලිපියක් එවලා තිබෙනවා ඒ ලිපියේ අපි
ඒවත් සඳහන් කරලා තියෙනවා. මේක ඉතා බරපතළයි. හිටපු ජනාධිපතිවරු හතර පස්දෙනාටම 100කට වඩා පොලීසිය සහ හමුදාව යොදවලා තියෙනවා. සමහර අයට ආරක්ෂාවට නිලධාරීන් 180ක් යොදවලා තියෙනවා. ඔය ලිපියේ ඒ ගණන් මිනුම් තියෙනවා. ඉතින් ආරක්ෂක භටයින් විතරක් නෙමයි ආරක්ෂ රථ, බස් රථ, ඩිෆෙන්ඩර්, ත්‍රිවීල්, බයිසිකල්, ගිලන් රථ ඔක්කොම දීලා තියෙනවා. අපි ගණන් හදලා බැලුවාම දළ වශයෙන් පොලීසිවලින් ලබාදෙන ආරක්ෂාව සහ ඒ අයගේ නඩත්තු කටයුතු සඳහා යන අනෙක් වියදම් ගත් විට රුපියල් මිලියන 1100ක්. එතකොට හිටපු ජනාධිපතිවරු හතර පස්දෙනාට පොලිස් ආරක්ෂාව සඳහා යන මුදල මුළු සමස්ත ලංකාවේම පොලීසියේ පොලිස් නිලධාරීන්ට බෙහෙත් ගන්න පොලිස් රෝහලටවත් වෙන්කරලා නැහැ. අවුරුද්දකට ඒ යන වියදම පොලිස් රෝහලේ අවුරුද්දකට යන වියදමට වඩා වැඩියි. මේක අපරාධයක්. මේක අපි වෙනස් කරන්න ඕනේ ඒ සඳහා අපි කමිටුවක් පත්කරලා තියෙනවා ඒ කමිටුවේ නිර්දේශ කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත්වෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව අනුව සියලුම හිටපු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයට යම් ආරක්ෂාවට අදාළ පියවර ගන්නවා. විශේෂ ආරක්ෂා තත්ත්වයන් තියෙන අයට විශේෂ වශයෙන් ආරක්ෂාව ලබාදෙන්න පියවර ගන්නවා.”