
පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.
ඊයේ (11) දිනයේ මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.
රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබා දුන්නා.
ඒ අනුව ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර ඇති බව වාර්තා වනවා.
සම්බා සහ සුදු කැකුළු සහල් තොගයක් ඉන්දියාවේ සිට මෙලෙස ආනයනය කර ඇති බව සඳහන්.
අද (12) සහ හෙට (13) යන දෙදින තුළද තවත් සහල් තොග දිවයිනට ළඟාවීමට නියමිත බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.
මේ අතර ආනයනික සහල් ද වෙළෙඳපොළට පැමිණීමත් සමග රට තුළ පවතින සහල් හිඟයට විසඳුම් ලැබෙනු ඇති බව සතොස ආයතනයේ සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසනවා.