2024 වසරේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් 2025 නව වසරේ දී අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ග්‍රාමීය දිළිඳු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස හඳුනාගෙන ඇති බවයි.
ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගීම වෙනුවෙන් පැවති දේශපාලන පරිවර්ථනය සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටුකිරීමට මේ වනවිට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහින යාථාර්ථයක් කිරීමේ අවස්ථාව එළැඹ ඇති බව සඳහන් කරන ජනාධිපතිවරයා, තමා වෙත භාරදුන් වගකීම පිළබඳව මනා අවබෝධයක් ආණ්ඩුව කටයුතු කරන බව ද සඳහන් කරනවා.
මේ සියවසේ මඟහැරුණු ජයගහ්‍රණ යළි රටට අත්කර දීමටත්, එකී සිහින යථාවත් කිරීම සඳහා 2025 නව වසරේදී අධිෂ්ඨානයෙන් යුතුව කැපවී ක්‍රියා කරන බව ජනාධිපතිවරයා සිය නව අවුරුදු පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
වගකිවයුතු රජයක් ලෙස ආර්ථික, කර්මාන්ත, අධ්‍යාපන ඇතුළු විවිධ ක්ෂේත්රවල සංවර්ධනය වෙනුවෙන් රට ගමන් කරවීමට මේ වසරේ දී අධිඨන් කර ගත යුතු බව නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
එමෙන්ම සෑම පුරවැසියෙකුටම ජාතිය, ස්ත්‍රී පුරුෂභාවය, වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සාමකාමී, නිදහස් ගෞරවනීය සහ තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි අනාගතයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ දැක්ම බව ද අග්‍රාමාත්‍යවරිය සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කරනවා.
මේ තීරණාත්මක මොහොතේ රජය ජනතාවට සේවය කිරීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බවද අග්‍රාමාත්‍යවරියේ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර වර්ථමානයේ රට මුහුණදී ඇති අභියෝග නිවරදිව හඳුනා ගනිමින් එම අභියෝග ජය ගැනීමට අවශ්‍ය ධෛර්ය, ශක්තිය හා දැක්ම ඇතිව කටයුතු කිරීමට නව වසරේ සියලුදෙනා අධඨන් කර ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ අතීතයේ මෙන්ම පටු වාර්ගික, ආගමික මතවාද තුළ බේදභින්න කළ දේශපාලනික වැඩසටහන් යළිත් ඉස්මතු නොවීමට කටයුතු කිරීම වැදගත් බවයි.
එමෙන්ම ජනතාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ බිඳවැටී ඇති ජීවිත යළිත් ගොඩනැගීමට නව ආර්ථික වැඩපිළිවලක් සහ ක්‍රියාදාමයක් අවශ්‍ය බව යළි යළිත් තහවුරු වෙමින් පවතින බව විපක්ෂ නායකවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.
මේ අතර නව වසර වෙනුවෙන් ආගමික නායකයින් ද ජනතාව වෙත සුබ පැතුම් පණිවුඩ එක් කර තිබෙනවා.
අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමි පවසන්නේ නව වසරේ දී සියලුදෙනා සමඟිව කටයුතු කිරීමෙන් පවතින අර්බුද නිරාකරණය කිරීමට හැකියාව පවතින බවයි.
මල්වතු පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමි ද නව වසර වෙනුවෙන් අනුශාසනාවක් සිදු කළා.
නව වසර වෙනුවෙන් ජනතාව වෙත පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙන්නේ දහමට අනුව ජීවත් වීමට සියලුදෙනා නව වසරේදී අධිඨන් කරගත යුතු බවයි.