හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබුණා.
ඉන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ, බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව අමෙරිකාවේ තිබෙන ඇතැම් දේපළ පිළිබඳ වසර කිහිපයකට පෙර තමන් පෞද්ගලික විද්‍යුත් නාලිකාවකට කරන ලද ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස කර තිබූ කැඳවීමකට අනුව තමන් අද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි බවයි.
තමන් අදාළ ප්‍රකාශය පිළිබඳව නිලධාරීන් වෙත පැහැදිළි කිරීමක් සිදු කළ බවත්, තමන්ට නැවත පැමිණෙන ලෙස කැඳවීමක් සිදුනොකළ බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා.
නීතීඥවරයකු ලෙස සිය පාර්ශවය වෙනුවෙන් උදය ගම්මන්පිල පැමිණි බවත්, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය පාර්ශවය සතුව තිබූ ඇතැම් ලියකියවිලි ද පොලිස් නිලධාරීන් වෙත භාරදුන් බවත් විමල් වීරවංශ එහිදී ප්‍රකාශ කර සිටියා.
තමන් භාරදුන් ලිපිලේඛන අනුව බැසිල් රාජපක්ෂ සතුව විශාල ප්‍රමාණයක ධනයක් ඇති බව පැවසිය හැකි සේම, එය ඔහුගේ සම්පූර්ණ ධනය නොවන ද බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.