2010 වසරේදී බන්ධනාගාර බස් රථයක ඇතුළත තහඩුව ඉවත්කර පලාගිය උපේක චන්ද්‍රගුප්ත හෙවත් ගඩාෆි නමැති සැකකරු වසර 15කට පසු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විදෙස්ගතව සිට මෙරටට පැමිණ පිළියන්දල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයි.
වසර 15කට පෙර බන්ධනාගාර බස් රථයෙන් පලාගිය අයුරු සැකකරු පොලීසියට පාපොච්චාරණය කර තිබුනේ මෙසේයි,
“බස් එකේ එනගමන් සර් මට හිතුනා යන්න ඕන කියලා. අම්මත් අසනීපෙන් හිටියේ. මට එකපාරටම පෙනුණා සර් තහඩුවේ ඇණයක් ගැලවිලා තියෙනවා. මම නිකමට ඇද්දා සර්. ඇදපු පාර ගැලවුණා දිරලා තිබුණේ. මම ඒක කැඩුවා කඩපු පාර මට එළියක් පෙනුණා. ඊට පස්සේ මම ගියා සර්.”
“මෙච්චර විතර ගැලෙව්වා ගලවලා මම මෙහෙම කකුල් දෙක දැම්මා. දැම්මට මෙතනින් එහාට යන්නේ නැහැ. දැන් කොහොමත් එකයි යන්න එපැයි සර් යන ගමන මැරෙන්න හරි මැරෙන එක ඊට වඩා සැපක්නේ. මොකක්ද මේ ජීවිතේ? ඕනවට වඩා මනුස්සයෙක්ට බැහැනේ සර් නේ…?ආපහු උඩට ඇවිල්ලා ආපහු කැඩුවා . කඩලා කොහොමහරි මෙහෙම කරලා දාගත්තා. ඒ් වෙලාවේ ඉතින් යනවා බොරලැස්ගමුවේ…බෙල්ලන්විල පන්සල හරියේ වගේ තමයි මට මතක…මැරෙන්න හරි අතඅරින්න එපැයි මේක. මිරිස්වත්ත තුන්මං හනදියේදී මෙහෙම අතඇරියනේ සර්…අතඇරපු ගමන් බස් එක ගියා පිටිපස්සෙන් එනවා ඔහොම මගේ ඇඟට. ඊටපස්සේ මම අනික් පැත්තට පෙරළුණා. ඒත් මම කලබල වුණේ නැහැ සර්…”
2010 වසරේ අගෝස්තු මස 3වැනිදා කැස්බෑව මාකන්දන ප්‍රදේශයේ ග්‍රාමීය බැංකුවක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් අතර ප්‍රධාන සැකකරු වුයේ උපේක චන්ද්‍රගුප්ත හෙවත් ගඩාෆියි.
තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග මාකන්දන ග්‍රාමීය බැංකුව කොල්ලකෑමට පැමිණි අවස්ථාවේ ආයතනයේ කළමණාකාරිණිය හදිසි නළාව නාද කිරීමෙන් පසු, කලබල වූ සැකකරුවන් අතරින් ගඩාෆි සහ තවත් අයෙක් පලාගොස් තිබුණා.
අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී හෙළි කරගත් කරුණු මත ගඩාෆි ද පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ජීව අත් බෝම්බයක්, බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 5ක් සහ ගිනිඅවියක් ද සමගයි.
පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයෙන් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත්කිරීම සඳහා රැගෙන යන අතරතුර සැකකරු බස් රථයෙන් පලාගොස් තිබුණා.
ඒ බස්රථයේ ඇතුළත තට්ටුවේ යකඩ තහඩුව සූක්ෂම ලෙස ගලවා දමමිනි.
පසුව සැකකරු වසර 10ක් පමණ විදෙස්ගතව සැඟව සිට ඇති අතර වීසා කල් ඉකුත්වීමත් සමඟ මාස 6ක පමණ කාලයක් අබුඩාබියේදී සිර දඬුවමටද ලක්ව සිට තිබෙනවා.
පසුව සැකකරු යළි මෙරටට පැමිණ ඇත්තේ 2021 වසරේදීයි.
එලෙස පැමිණි සැකකරු විවිධ ප්‍රදේශවල සැඟව සිට තිබෙනවා.
එලෙස පිළියන්දල මාම්පේ ප්‍රදේශයේ නිවසක සැකකරු සැඟව සිටින බවට පිලියන්දල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමේදී මීට දෙදිනකට ඉහතදී ගඩාෆි අත්අඩංගුවට ගැනුණා.
ඒ පලාගොස් වසර 15කට පසුවයි.
සැකකරු බැංකු කොල්ලයට සැකපිට අත්අඩංගුවට ගැනීමට පෙර මත්ද්‍රව්‍ය චෝදනා කිහිපයකට කළුතර බන්ධනාගාරයේද රඳවා සිට ඇති අතර එහි සිටි තවත් සැකකරුවන් සිව්දෙනෙකු සමග එක්ව බන්ධනාගාරයේ සිරමැදිරියේ පොළොව හාරා පලායාමට ද තැත්කර තිබෙනවා.
සැකකරුට එරෙහිව පානදුර මහාධිකරණයේ 2017 වසරේ ගොනුකළ නඩුවකට අදාළව ඔහු නොමැතිව සිදුකළ විභාගයකින් පසු බරපතළ වැඩ සහිතව වසර 10ක සිර දඬුවමක් ලබාදී තිබූ අතර එම නියෝගය සැකකරු අත්අඩංගුවට ගත් දින සිට ක්‍රියාත්මක කිරීමට නියම කර තිබෙනවා.
ඒ අනුව එම තින්දුවට අදාළව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.