මහජනතාවට ලබා දෙන ඖෂධවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ පවතින බරපතල අඩුපාඩු 2023 වර්ෂය සඳහා ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවක් මගින් අනාවරණය වී තිබෙනවා.
එම වාර්තාවට අනුව, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ ස්ථාපිත ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඖෂධවල ආරක්ෂාව සහ ගුණාත්මක බව සහතික කිරීමේ වගකීම පැවරී තිබෙනවා.
කෙසේවෙතත්, 2023 වසර අවසන් වන විට ඖෂධ වර්ග 1500කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමට අධිකාරිය අපොහොසත් වීම නිසා අදාළ ලිපිගොනු අසම්පූර්ණ බව පැවසෙනවා.
පනතේ අදාළ වගන්ති යටතේ, ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන සෑම ඖෂධයක්ම ජාතික ඖෂධ තත්ත්ව සහතික කිරීමේ රසායනාගාරයේ තත්ත්ව පරීක්ෂාවට ලක්කළ යුතුයි.
2023 දී ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන ලද ඖෂධවලින් 95% ක්ම නියැදි පරීක්ෂණවලින් තොර බව වාර්තාව මගින් අනාවරණ වී තිබෙනවා.
මෙම අතපසුවීම හේතුවෙන් ප්‍රමිතියෙන් තොර ඖෂධ දේශීය වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් මතුව පවතිනවා.
ලියාපදිංචි නිදහස් කිරීම් භාවිත කිරීමේ අක්‍රමිකතා ද විගණනයේදී අනාවරණය වී තිබෙනවා.
2022 සහ 2023 අතර, කමිටු සමාලෝචනයකින් හෝ ලේඛන සත්‍යාපනයකින් තොරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය යටතේ නිදහස් කිරීමේ සහතික 287ක් නිකුත් කර ඇතැයි ද එහි දැක්වෙනවා.
කඩිනම් ‘විශේෂ ක්‍රියාවලියක්’ හරහා ලබා දී ඇති මෙම නිදහස් කිරීම්, පනත මගින් නියම කර ඇති ක්රමානුකූල ක්‍රියාවලීන්ගෙන් බැහැර වන අතර, විනිවිදභාවය සහ රෝගීන්ගේ ආරක්ෂාව අවදානමට ලක්කර ඇතැයි වාර්තාවේ දැක්වෙනවා.
අනුකූලතා සම්බන්ධ සහතික ලබාගැනීමට, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහ අත්‍යවශ්‍ය උපකරණ ලබාගැනීමට ජාතික ඖෂධ තත්ත්ව සහතික කිරීමේ රසායනාගාරය අපොහොසත් වී ඇති බව ද වාර්තාවෙන් අනාවරණ වී තිබෙනවා.
මීට අමතරව, පුහුණු කාර්ය මණ්ඩලයේ හිඟයක් හේතුවෙන් 2023 අවසන් වන විට තත්ත්ව පරීක්ෂණ 337 ක් අසම්පූර්ණ වී ඇතැයි ද දැක්වෙනවා.
මෙම ප්‍රමාදයන් ඖෂධ ආශ්රිත ප්‍රමිතිය කාලෝචිත ලෙස සහතික කිරීමට බාධාවක් වූ බව ද වාර්තාවේ සඳහන් වනවා.
වෛද්‍ය සැපයුම් අංශය තුළ සැලසුම් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග පැවැති දුර්වල සන්නිවේදනය සහ සැපයුම්කරුවන් සම්බන්ධයෙන් පවතින ගැටළු අත්‍යවශ්‍ය ඖෂධ 18 ක හිඟයකට තුඩු දුන් බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.
වාර්තාවට අනුව, 2020 දෙසැම්බර් සහ 2023 නොවැම්බර් යන කාලසීමාව අතර මාස හතරේ සිට අවුරුදු තුනකට ආසන්න කාලසීමාවක් සඳහා මෙම හිඟයන් පැවතුනා.