විදේශිකයින්ගේ විශාල ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ-ටිකට්පත්, අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 42ක් ඇතුළත සියල්ල විකිණී අවසන් වීම පිටුපස, මහා පරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා හෙළි කළා.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා, ටිකට්පත් ජාවාරම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා.
මෙම රැස්වීම, අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.
ඇල්ල දුම්රියට අදාළ රුපියල් 2,000ක වටිනා ඊ-ටිකට්පත්, විදේශිකයින්ට රුපියල් 16,000කට අලෙවි කරන බවට වාර්තා වන අතර, කොළඹ කොටුව, මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථාන වල මෙම ජාවාරම ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නා.
මෙම වංචාවට දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ත්‍රිරෝද රථ ගාල් කරන පිරිස සම්බන්ධ වී ඇති බවට ද තොරතුරු තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව, ගමන් වාරයට පෙර මාසයකට අධික කාලයකට ඊ-ටිකට්පත් අන්තර්ජාලයට මුදා හරින අතර, මේවා තත්ත්පර 42ක් තුළම විකිණී අවසන් වීම අඛණ්ඩව සිදුවෙමින් තිබෙනවා. පරිගණක තාක්ෂණයට විශේෂ දැනුමක් ඇති පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මෙයට සම්බන්ධ වී ඇති බවට සැක කෙරේ.
ගුණසේන මහතා පෙන්වා දුන්නේ, මෙම ජාවාරම පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා අවශ්‍යතාවය දැඩිව පවතින බවයි. CID වෙත කළ පැමිණිල්ලේ වාර්තාව මෙතෙක් ලැබී නැහැ.