නුදුරු අනාගතයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහන ලබා දීමට රජය සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් පවසනවා.
මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට බලපත්‍ර තවදුරටත් ලබා නොදෙන බව ඔහු පැහැදිලි කළා.
ඊයේ (20) ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ ‘360°’ වැඩසටහනට එක් වූ අවස්ථාවේදී ඇමැතිවරයා මෙම අදහස් පළ කළා.
තීරණය පැහැදිලි කරමින් ඇමැති හේරත් පැවසුවේ, සියලුම මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම සහතික කිරීමට රජය පියවර ගන්නා අතර එමගින් තනි වාහන ආනයන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කරන බවයි.
“මන්ත්‍රීවරුන්ගේ එක නතර කළා. ඒ නතර කළේ තාවකාලිකව. අපි එහෙම නෙමෙයි. ප්‍රතිපත්තියක් විදියටම දෙන්නේ නෑ. ඒක වෙනස්. පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි.
විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ රාජකාරි කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අපි වෙනස් කරනවා. හැමෝටම එක සමාන විදියට දෙන්න වෙනවා. අපි මැතිවරණ කාලේ කිව්වේ ජනතාවට අපි පර්මිට් කියන එක අහෝසි කරනවා.
කිසිදු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එක දීලා ඩියුටි ෆී වාහන ගෙනල්ලා විකුණන්න දෙන්නේ නෑ. රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීට ඇමතිට වාහනයක් තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. කැමති නම් බස් එකේ එන්නත් පුළුවන්…”
මන්ත්‍රීවරුන් විසින් වාහනය භාවිතා කිරීමේදී විකල්ප ක්‍රමවේදයන් දෙකක් හඳුන්වා දෙන බව පැවසූ ඔහු පළමුවැන්න වසර පහ අවසානයේ වාහනය රජයට භාරදීම බවත් දෙවැන්න වාහනය ක්ෂයවීමේ අනුව වටිනාකම තක්සේරු කර එම මුදල රජයට ගෙවා වාහනය තමන් සතු කර ගැනීම හැකි බවද ඔහු සඳහන් කළා.