
2025 වසර සඳහා වන අයවැය පළමුවර කියවීම අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ජනතාවට ලබා දී ඇති සහන මෙසේයි.
රජයේ ඉඩම් ගැන අයවැයෙන් තීරණයක්
නැගී එන ආයෝජක වර්ධනයට ගැලපෙන පරිදි ආර්ථික සංශෝධන පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය විසින් භාවිත නොකළ රජය සතු ඉඩම් බදු දෙන බවයි.
නිසරු බවට පත්වු ඉඩම් රැසක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි ද ජනාධිපතිවරයා කියා සිටියා.
සංචාරක කේෂ්ත්‍රයට අයවැයෙන් වැඩි වාසි
2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරේ, සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සංවර්ධය කිරීම ඇතුළු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි.
තවද, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා පවසා සිටියා.
මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් නව ගමනාන්ත හඳුන්වා දෙමින්, Brand City නිර්මාණය කීරීමට අපේක්ෂා කරන බව ද, ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළා.
රජයේ මංගල අයවැයෙන් සෞඛ්‍යයට රු. බිලියන 604ක්
2025 වසර සඳහා රජයේ සෞඛ්‍ය අයවැය ප්රතිපාදනය රුපියල් බිලියන 604 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව පවසා සිටියා.
තව ද, ඖෂධ සැපයුම සහතික කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් බිලියන 185ක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා කියා සිටියා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහි දී පවසා සිටියා.
තව ද ස්නායු ආබාධිත දරුවන් සඳහා ප්‍රතිකාර ලෙස ජාත්‍යන්තර ප්‍රමීතීන් සහතිත ප්‍රථිකාර මධ්‍යස්ථානයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇති කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට ද මෙම අයවැයෙන් යටයුතු කර තිබෙනවා.
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
2025 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඒ මහතා පවසා සිටියේ, මහජන නියෝජිතයින්ට ලබාදෙන දීමනා සහ ප්රතිලාභ සම්බන්ධයෙන් සමස්ත පද්ධතියම සමාලෝචනය කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.
ඒ අනුව ලක්ෂ 10ට පැවති රක්ෂණය රුපියල් ලක්ෂ 2 හමාරට දක්වා අඩුකරන බව ද පැවසු ජනාධිපතිවරයා සඳහන් කළා.
වියදම් කළමනාකරණයේ දී දේශපාලන නායකයින් ලෙස රටට ආදර්ශයක් ලබාදීමට ඇමති මණ්ඩලය, අමාත්‍යවරු 21කට සීමා කළ බවත්, රජයේ වියදම් අඩු කරමින් අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් තාර්කීකරණය කර ඇතැයි ද කියා සිටියා.
ජනාධිපති, අගමැති සහ මැති ඇමතිවරු සම්බන්ධයෙන් වෙන් කළ පොදු සම්පත් ඵලදායි ලෙස මහජන සංචිතයට යොමු කිරීමට කමිටුවක් දැනටමත් පත්කර ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළා.
අධික නඩත්තු වියදම් දැරීමට සිදුවන රජයේ සියලු සුඛෝපභෝගි වාහන මාර්තු මාසයේ වෙන්දේසි කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.
තෝරාගත් රජයේ නිලධාරීන්ට සුදුසු මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම හරහා වාහන සඳහා වු අධික වියදම් අවම කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
“මන්ත්‍රීවරුන්ට පර්මිට් එක ලැබෙන්නෙත් නෑ. මේ අවුරුද්දේ වාහනත් නෑ. අයවැයෙන් මුදල් වෙන්කරලා නෑ. ඒක දරාගන්න බෑ”
අයවැයෙන් ගොවියාට සුබ පණිවුඩයක්
වී ගොවිතැන ආරක්ෂා කිරීමේ අරමුණින් මෙවර අයවැයෙන් තීන්දු රැසක් ගෙන තිබෙනවා.
2024 – 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව අද (17) පාර්ලිමේන්තුවේ දී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියා.
එම කන්නය සඳහා රු මිලියන 5,000ක් වී මිලදී ගැනීමට වෙන්කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, පොහොර සහනාධාරය සඳහා මේ වසරට රු මිලියන 35,000ක් වෙන්කරන බව ද කියා සිටියා.
කෘෂිකර්මාන්තයට අදාළව යාවත්කාලීන කළ දත්ත සහ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරන බවත් ජනාධිපතිවරයා වී සහ සහල් එකතු කිරීමට හා ගබඩා කිරීමට අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
කෘෂිකර්මාන්තය මුලික කරගෙන ව්‍යාපාර ආරම්භ කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා රු මිලියන 500ක් වෙන් කරන බවත් කියා සිටියා.
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට
සැමට අධ්‍යාපන අවස්ථා ලබා දෙමින් 2019 සිට සංවර්ධනය නොවූ පාසල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 1,000කට අධික ප්‍රමාණයක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මක වර්ධනය උදෙසා රුපියල් බිලියන 135ක් මේ වන විටත් වෙන් කර අවසන් බව ජනාධිපතිවරයා එහි දී පවසා සිටියා.
තව ද මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 සිට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යාධාර දීමනා රුපියල් 4,000සිට රුපියල් 6,500ක් දක්වා වැඩි කිරීමටත් කටයුතු කර ඇති අතර මේ සඳහා මේ සඳහා වෙන්කර ඇති මුලද රුපියල් මිලියන 4,600කි.
මෙම දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දීමට කටයුතු කර ඇත.
මේ අතර පෙරපාසල් ළමුන්ගේ පෝෂණ අවස්ථා වෙනුවෙන් උදෑසන ආහාරය සැපයීම සඳහා එක් ආහාර වේලක් වෙනුවෙන් වෙන් කර තිබූ රුපියල් 60ක මුදල් ප්‍රමාණය රුපියල් 100 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1,000කි.
තෝරාගත් මුල් ළමාවිය මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80ක් වෙන් කිරීමට කටයුතු කර ඇත.
තව ද, පෙරපාසල් ගුරුවරු වෙනුවෙන් ලබා දෙන දීමනාව මෙම වසරේ ජුනි මාසයේ සිට තවත් රුපියල් 1,000කින් වැඩි කිරීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 100කි.
සැපට යන්න සැප බස් රථ ගෙනෙයි..
රුපියල් මිලියන 3000ක් වියදම් කර සැප පහසු බස් රථ 100ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරනවා.
ඒවා ප්‍රධාන මාර්ග හතරක් ආවරණය කරමින් කොළඹ නගරයට මගී ප්‍රවාහන පහසුකම් සලසනු ඇති බවද පහත් පතුලක් සහිත මෙම සුඛෝපභෝගී බස් රථ සේවය නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරන බවද ඔහු සඳහන් කළා.
ඇප නැතිව ණය දෙන බැංකුවක්..
රජය විසින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් පළමු පියවර ලෙස දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළා.
ජාතික ණය ඇපකර ආයතනය හරහා රජය විසින් මෙම ආයතනයට සහය දෙන බවත් ඔහු කියා සිටියා.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළා.
වැඩිහිටි දීමනාව ඇතුළු සුබ සාධන වියදම් ගැන තීරණයක්
වකුගඩු රෝගීන්ගේ, ආබාධිවූවන්ගේ සහ වැඩිහිටි දීමනාව මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, වකුගඩු රෝගීන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා ලබාදෙන මාසික දීමනාව රු 7,500 සිට රු 10,000 දක්වා වැඩි කිරීමට නියමිත බවයි.
වැඩිහිටියන්ට ලබාදෙන මාසික දීමනාව රු 3,000 සිට රු 5,000 දක්වා මේ වසරේ අප්‍රේල් මාසයේ සිට වැඩිකිරීමට යෝජනා කරන බව ද සඳහන් වුණා.
මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට රු බිලියන 232.5ක් වෙන් කර ඇතැයි ද ජනාධිපතිවරයා කියා සිටියා.
එමෙන්ම අඩු ආදායම් ලබන පවුලක එක් සිසුවෙක් සඳහා පොත්පත් මිල දී ගැනීමට රු 6,000ක මුදල දැනටමත් ක්‍රියාත්මකයි.
විදෙස්ගත ශ්‍රමිකයින්ගේ තීරුබදු සහනය වැඩි වෙන ලකුණු
ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිරිගැන්වීම හා ත්‍යාග පිරිනැමීමේ ක්‍රම ගවේෂණය කරමින් සිටින බව ජනාධිපතිවරයා කියා සිටියා.
අද (17) පාර්ලිමේන්තුවේ දී මංගල අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එහි පළමු පියවර ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරුබදු නිදහස් සීමාව වැඩි කිරීමට යෝජනා කර තිබෙන බවයි.
දීමනාව සඳහා වන නිර්ණායකයන් හා පදනම ප්‍රසිද්ධ කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.
ජනතාවට සහන මිලට සැමන් පරිප්පු..
අලුත් අවුරුදු කාලය සඳහා ජනතාවට සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබාදීමට අයවැය මගින් යෝජනා කර තිබෙනවා.
සහල්, ටින් මාළු, පරිප්පු, ලූනු, අර්තාපල් හා කරවල යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා මෙසේ ලබා දෙන බවද ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළා.
රජයේ සේවක වැටුප රුපියල් 8,250ක ශුද්ධ වැඩිවීමක්.. පලමුව 5000යි..
අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමට අප යෝජනාවක්. දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8,250 ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාලව සිදු කරන බව පවසා සිටියේ.
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය අදාළ වනවා.
රුපියල් 15,750 ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80 කින් ඉහළ නැංවීමට යෝජිතයි. ඒ අනුව, රුපියල් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනවා. රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැලපීමට ද යෝජිතයි.
විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කිරීමට පියවර
විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000කින් වැඩි කර ඇති බව අයවැය යෝජනාව තුළින් ඉදිරිපත් කෙරුණා.
නමුත් 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින් 2016 /2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් විශමතා ඇති වන බව නිරීක්ෂණය කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛනයේ 3/2016 අනුව 2020 වසරට අදාළ වැටුප් පරිමාණයන්ට අනුරූප අධියර තුනකින් සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව 2020 ජනවාරි 01 වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.
ශ්‍රීලන්කන් ණය පියවීමට බිලියන 20ක් – හැබැයි දැන් ලාභ පෙන්නන්න ඕනේ
ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමට ණය පියවීමට රුපියල් බිලියන 20ක් වෙන්කෙරේ.
මෙම පැරණි ණය සේවා පිරිවැය රජය විසින් පියවීමෙන් පසු මෙහෙයුම් ලාභදායිත්වය සහතික කිරීමේ සම්පූර්ණ වගකීම ශ්‍රීලන්කන් ගුවන් සමාගමට පැවරෙන බව දා අයවැය කතාව සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළා.
රජය, බැංකු සමඟ ගිවිසුමක් අත්සන් කර 2025 දී ණය ප්‍රාග්ධන ආපසු ගෙවීම සඳහා රුපියල් රුපි මිලියන 10,000 ක් මෙන්ම පොලී ගෙවීමට රුපියල් මිලියන 10,000ක් වෙන් කරන බවද ජනාධිපතිවරයා පවසනවා.
ස්වාභාවික විපතකදී වින්දිතයන්ට ලක්ෂ 10 ක් – තරුණ තරුණියන්ගේ සියදිවි නසාගැනීම් වැළැක්වීමටත් නව වැඩසටහනක්.
ස්වාභාවික විපත්වලින් විපතට පත්වූවන්ට ලබාදෙන වන්දි මුදල රුපියල් 250,000 සිට මිලියන 1ක් දක්වා වැඩිකරන බව ජනපති අයවැය කතාව සිදුකරමින් පවසනවා.
එමෙන්ම අයවැය කතාව සිදුකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ, තරුණ තරුණියන් අතර සියදිවි නසාගැනීම් ඉහළ මට්ටමක පැවතීම සැලකිල්ලට ගනිමින්, සිසුන් සහ නව යොවුන් වියේ දරුවන් දැනුවත් කිරීමේ සහ උපදේශන සේවා පුළුල් කිරීම සඳහා මධ්‍ය කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන්කරන බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
වරාය තදබදයට දීර්ඝ කාලීන විසඳුමක්
කොළඹ වරායේ සහ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ස්කෑනිං සේවා වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කෙරෙනවා.
ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව මුදල් රහිත ආර්ථිකයක් කරා සංක්‍රමණය වීමත් සමඟ ඩිජිටල් ආර්ථික අධිකාරියක් ස්ථාපිත කරන බවත්, ඩිජිටල් සංවර්ධනයට මිලියන 3000ක් වෙන් කරන බවත් ජනාධිපතිවරයා පවසනවා.
වරාය තදබදයට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ද අයවැය කතාව සිදුකරමින් ජනාධිපතිවරයා කියා සිටියා.
ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් රට තුළ අවශ්‍ය බව ප්‍රකාශ කළ ඔහු, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය විසින් මෙම වසරේ රුපියකල් මිලියන 750 ක් වෙන් කරන බව ද සඳහන් කළා.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ පොලී යෝජනා ක්‍රමයක්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබනවා.
ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරය සහතික කිරීම සඳහා රු මිලියනයක වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපොළේ පවතින පොලී අනුපාතිකයට වඩා සියයට 3ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා සිටියා.
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට 3% පොලියට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා රු මිලියන 15,000ක් වෙන් කෙරෙන අතර, එය 2025 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.