
සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ අත්අඩංගුවට ගැනීමට නියෝග කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු අනෙක් පුද්ගලයින් අත්අඩංගුවට නොගැනීමටත්, ඔවුන්ගෙන් ප්‍රකාශ පමණක් ලබා ගැනීමටත් නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව පොලිසිය ඊයේ හදිසියේ නිවේදනය කර තිබෙනවා. කෙසේවෙතත් මෙය සැක සහිත බවට විවිධ පාර්ශ්ව අදහස් පළ කර තිබෙනවා.
මෙයට ප්‍රධාන හේතුව වූයේ, දේශබන්දු තෙන්නකෝන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා අධිකරණය වෙත ඉදිරිපත් කළ රිට් පෙත්සමේ නියෝගය අද ලබාදීමට නියමිතව තිබීමයි.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිය ෆේස්බුක් පිටුවේ පළ කර ඇති සටහන පහතින්.
‘පොලිස් මාධ්‍ය කෙට්ඨාසය අද හවස 3.00ට හදිසියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. ඒ මාධ්‍ය නිවේදනය මත පදනම්ව ඇතැම් ජනමාධ්‍ය බ්‍රේකිං නිව්ස් පළකර තිබේ. එම ප්‍රවෘත්තිවලින් කියා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් සමග අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු පිරිස අත්අඩංගුවට නොගන්නා ලෙසත්, ඔවුන්ගෙන් ප්‍රකාශ පමණක් සටහන් කර ගන්නා ලෙසත් නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත්ය.
මෙම නිවේදනය ලද වහාම හදිසි මාධ්‍ය නිවේදනයක්යැයි සිතා මමද කියැවීමි. එම නිවේදනයේ කිසිම අලුත් දෙයක් නැත. එසේ තිබියදී දේශබන්දු තෙන්නකෝන්ගේ රිට් පෙත්සමේ නියෝගය හෙටට නියමිතව තිබියදී මෙවැනි ප්‍රවෘත්තියක් නිර්මාණය කිරීමට පොලිස් මාධ්‍ය කොට්ඨාසය උත්සාහ කළේ ඇයිද යන්න තවමත් තේරුම් ගත නොහැකිය.
මෙම නිවේදනයේ සඳහන් වන්නේ දේශබන්දුට අමතරව අත්අඩංගුවට ගන්න නියෝග කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ සෙසු නිලධාරීන් විසින් රිට් පෙත්සමක් ගොනුකරනු ලැබ ඇති බවත්, එම පෙත්සම අනුව ඔවුන් අත්අඩංගුවට නොගන්නා බවට නීතිපති දෙපාර්තමේන්තුව එකඟතාවක් ලබාදී ඇති බවත්, එම එකගතාව අනුව ඔවුන් අත්අඩංගුවට නොගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ පමණක් සටහන් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත්ය.
අදාළ රිට් පෙත්සම ඔවුන් විසින් ගොනුකරනු ලැබුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දේශබන්දු ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීමටත් පෙරදීය. අදාළ නඩුව අවසන් වරට අධිකරණය ඉදිරියේ කැඳවූයේ ජනවාරි මස අවසන් සතියේදීය. පෙත්සම්කාර කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ (වැඩබලන) නෙවිල් සිල්වා ඇතුළු පෙත්සම්කරුවන් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ එදිනටත් පෙර නඩුවාරයේදීය. ජනවාරි මස අවසන් සතියේ පැවැති නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ඒවන විට පැවැති තත්ත්වය ඊළඟ නඩු දිනය එනම් මාර්තු මස 21 වැනිදා තෙක් පවත්වාගෙන යන බවයි. එම එකඟතාවය දීර්ඝ කරන අවස්ථාව වන විටවත් මරණ පරීක්ෂණ තීන්දුව මහේස්ත්‍රාත් උසාවියෙන් ප්‍රකාශ කර තිබුණේ නැත.
මෙය හදිසියේ සිදුවූවක් ලෙස හුවා දැක්වීමට පොලිස් මාධ්‍ය කොට්ඨාසය දේශබන්දුගේ නඩුවේ නියෝගය හෙටට තිබියදී අද නිවේදනයක් නිකුත් කිරීමේ යටි අරමුණ කුමක්ද යන්න සොයා බැලිය යුතුය. මෙම එකඟතාවයට එළඹි දිනයවත් එම නිවේදනයේ නැත. මෙම නඩුවේ පෙත්සම්කරුවන් වන ඇන්සලම් ඇතුළු නිලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන දැන් සතියකටත් වැඩිය.ඒ ගැනවත් එම නිවේදනයේ නැත. එනම් කිසිම අලුත් තොරතුරක් නැත.
ඇන්සලම් ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගැනීම ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නට ගත්තේ අධිකරණ නියෝගය නිකුත් කළ දිනට පසු දිනයේ සිටය. ඒ අනුව අපි ද අපගේ වීඩියෝවල මේ සම්බන්ධයෙන් තත්ත්වය පැහැදිලි කළෙමු. එසේ තිබියදී අදාල එකඟතාවයෙන් මාස 3කටත් වැඩි කාලයක් ගිය පසු සහ අධිකරණ නියෝගයෙන් සති දෙකකටත් වැඩි කාලයක් ගිය පසු පොලිස් මාධ්‍ය කොට්ඨාසය හදිසියේ මේ බව මාධ්‍ය නිවේදනයක් අනුව නිවේදනය කිරීම බරපතල සැකයට තුඩු දෙන කරුණකි. එම සැකය දෙගුණ තෙගුණ වන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ රිට් පෙත්සම මූලික ඇගයීමට ලක්කිරීමට අදාල නියෝගය හෙට ලබාදීමට තිබියදී හද සවස හදිසියේ මෙම නිවේදනය නිකුත් කිරීමය.
දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ සහ දරුවා නැවත මතුවීම ගැන හෝ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ගැන හෝ එම ප්‍රකාශයෙන් අනාවරණය වූ කාරණ ගැන හෝ නිවේදනයක් නිකුත් නොකර පරණ තොරතුරු පමණක් දමා නිවේදනයක් නිකුත් කිරීම කළේ ඇයිද යන්න පොලිස් මාධ්‍ය කොට්ඨාසය කරුණු පැහැදිලි කළ යුතුය.’