
අවි අතට ගන්න අවශ්‍ය කාලේ අපි අවි අතට ගත්තා’ යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
සති අන්ත පුවත්පතක් සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කර තිබෙනවා.
අපි ඉතාම පැහැදිලිව කියලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කළ අපේ පක්ෂය අසූ තුනේ කළු ජූලිය පදනම් කරගෙන පක්ෂය තහනම් කරලා යූ.එන්.පී.ය විසින්ම පටන් ගත්ත කළු ජූලිය, අසාධාරණ නීති විරෝධීව තහනම පදනම් කරගෙන ගිහිල්ලා අපිව මර්දනය කරන්න පටන් ගත්තම අනික් පැත්තෙන් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළාට පස්සේ අපි ඒකට විරුද්ධව අවි ගත්තා. ඒක අපි පිළිගත්තා. අපි ආණ්ඩුවට විරුද්ධවයි එදා අවි ගත්තේ. අවි ගැටුමක් සිදුවුණා. සිවිල් යුද්ධයක් සිදුවුණා. ඒකෙදි ආයුධවලින් දේශපාලනය කරනකොට දෙපැත්තෙන්ම මැරෙනවා. ඒකෙදි අපි පිළිඅරන් තියෙනවා අපේ පැත්තේ සමහර අය අතින් සිද්ධ නොවිය යුතු දේවල් සිදුවී තිබෙනවා කියලා.
ඒ වගේම අපි දන්නවා ඒකෙ වගකීම තියෙන්නේ තනි පුද්ගලයකුට නෙමෙයි, ව්‍යාපාරයකට කියලා. හැබැයි මේ මහා සංහාරය කරපු, හැටදාහක් මරා දාපු, අපේ පක්ෂය තහනම් කරපු, තහනම පවත්වාගෙන ගියපු අපේ පිටින් යන්න විරුද්ධවාදීන් ඝාතනය කරපු ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ. ඒ වෙලාවේ ඇමැතිකම් දරපු රනිල් ඉන්නවා. ඒ නිසා කිසියම් සිවිල් යුද ගැටුමකදී වගකීම යන්නේ ඒ යුද්ධයට පාර කපපු කෙනාට මිස ඒ යුද්ධයට ගොදුරු වුණ අයට නෙමෙයි. ඒ සිවිල් යුද්ධයේ වින්දිතයෝ අපි. අපිට සටන් කරන්න සිදු වුණා. අපි සටන් කළා. ලෝකෙ පුරාම එහෙම තමයි වෙලා තියෙන්නේ. මිනිස්සු දෙපැත්තේ ඉඳලාම සටන් කළානේ.
මට අවි පුහුණුවක් නෑ. මට දේශපාලන පුහුණුවක් තියෙන්නේ. අවි අතට ගන්න අවශ්‍ය කාලේ අපි අවි අතට ගත්තා.
චණ්ඩියෙක් නෙවෙයි. මං හිතන්නේ අපේ රටේ ගත්තොත් වීර පුරන්අප්පු ජාතික වීරයෙක්. අවි ගත්තද? නැද්ද? අවි ගත්තා. කැප්පටිපොළ අවි ගත්තා. මේ අවි ගැනීම නෙමෙයි ප්රශ්නය. සුනිල් ආරියරත්න මහතා සින්දුවක් ලියලත් තියෙනවා. විජය කුමාරතුංග තමයි සින්දුව කියන්නේ. සටනට එරෙහිව අවි ඔසවන්නේ නැත්නම් ඒ මිනිස්සු නෙවෙයි කියලා. අසාධාරණයක් වුණොත් අපි ඊට එරෙහිව සටන් කරනවා. අපි ඉන්නේ ප්රජාතන්ත්රවාදය තුළ නම් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සටන් කරනවා. පෙළපාළි යනවා. උද්ඝෝෂණය කරනවා. සටන් කරනවා. හැබැයි අපි තහනම් කරලා මර්දනය කරනවා නම් අපි ඊට එරෙහිව නැඟී සිටිය යුතු නැද්ද?