
මෙම වසරේ අගෝස්තු මාසයේදී කැනඩාවේ පැවැත්වීමට නියමිත ලෝක යෞවන් දුනු විදීම් ශූරතා තරගය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රීඩා ඇමතිවරයාගේ විශේෂ අවසරයක් මත ක්‍රීඩිකාවක සහභාගී කිරීම සඳහා දැඩි හා උනන්දුවෙන් මැදිහත්වීම, දුනු විදීම් ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයකට හේතු වී ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩිකාවක් ඇතුළත් කිරීමේ සම්මත තේරීම් ක්‍රියාවලිය අවලංගු කරමින්, අදාළ තරගය සඳහා එම ක්‍රීඩිකාව නම් කිරීම සිදුවී ඇත. එමඟින් අමතරව, පුහුණුකරු සහ කාන්තා භාර නිලධාරිනියක්ද මෙම සංචාරය සඳහා ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්ව සිටින අතර, එම කාන්තා භාර නිලධාරිනිය ලෙස නම් කර ඇත්තේ එම ක්‍රීඩිකාවගේ මව බවද පැහැදිලිව පෙනේ.
2025 මාර්තු 31 දා, ක්රීසංදෙ/ක්‍රීඩා/05/01/42 අංකය යටතේ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා දුනු විදීම් සම්මේලනයේ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියක් මගින්, මෙම ක්‍රීඩිකාව ලෝක ශූරතාව සඳහා ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස දැනුම් දී ඇත. එම ලිපියෙන් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී ඇත්තේ, පෙර දින රාත්‍රියේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය තමන් වෙත ලැබුණු බවයි.
කෙසේවෙතත්, මෙම ක්‍රීඩිකාව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක ශූරතාව සඳහා තේරීම් වී ඇත්ද යන්න සම්පුර්ණයෙන්ම අනාවරණය වී නැත. පසුගිය දේශීය තරගවලදී, ඇය ලෝක ශූරතා තරගය සඳහා අදාළ මීටර 60 තරගාවලියට ඉදිරිපත්ව නැති බවද, මීටර 30 තරගයෙදී 17වන ස්ථානය හිමිකරගෙන ඇති බවද සඳහන් වේ. එසේම, අවසාන තරගයේදී ඇයගේ දුන්න දෝෂයකට ලක්වීම නිසා සුදුසු දස්කම් පෙන්විය නොහැකි වූ බවත්, ඉන් අනතුරුව තරග අවස්ථා නැති බැවින් තවදුරටත් ඇයගේ කුසලතා පෙන්විය නොහැකි වූ බවත් පවසයි.
එමෙන්ම, මෙම ලෝක ශූරතාව සඳහා ඇය සහභාගී වන්නේ සිය පුද්ගලික වියදමින් බැවින්, එය සැලකිල්ලට ගෙන මෙම අවස්ථාව ලබාදෙන ලෙස ක්‍රීඩිකාවගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇත. ක්‍රීඩා අමාත්‍යවරයා මෙම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මැදිහත් වී ඇති බවද පැවසේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුනු විදීම් සම්මේලනයේ සියළුම නිලධාරීන් 2025 ජනවාරි 09 වනදා සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර ඇති අතර, එවැනි වාතාවරණයක් තුළ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා දුනු විදීම් සම්මේලනයේ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ නෛතිකභාවය පිළිබඳවද ගැටලුවක් මතුවී ඇති බව පෙනේ.
