
අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය අනුව මෙරට ඇඟළුම් කාර්මාන්තයට වැඩි බලපෑමක් සිදුව ඇත්තේ මෙරටින් වැඩි ප්‍රමාණයක් අපනයනය වන්නේ ඇඟළුම් ක්ෂේත්රයේ නිශ්පාදන බැවින් බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (06) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ, අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
නමුත්, අදාළ ආනයන බදු ප්‍රතිපත්තිය මෙරටින් අමෙරිකාවට අපනයනය කරන සියලුම භාණ්ඩ සඳහා අදාළ වන බව අමාත්‍යවරයා පැහැදිලි කළා.
එමෙන්ම අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සහ ඒ අශ්‍රයෙන් මෙරටට බලපා ඇති ගැටළු පිළිබඳව මෙරට සංචාරයේ නිරතව සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන්, රජය පාර්ෂවයෙන් විසඳුමක් ඉල්ලා සිටි බවත් එහිදී යහපත් ප්‍රතිචාර ලැබුණු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ අමාත්‍යවරයා දුන් පිළිතුරු,
ලංකාවේ ඇඟළුම් ක්ෂේත්රයට වැඩිපුරම බලපෑමක් ඇතිවෙලා තියෙන්නේ?
“ඇත්තටම ඇඟළුම් කාර්මාන්තයට තමයි. නමුත් අපි අමෙරිකාවට යවන සියලුම භාණ්ඩවලට මේක බලපානවා. ඇඟළුම් වලට පමණක් නොවෙයි. ඇඟළුම් වලට එන බර වැඩි වෙනවා මොකද අපේ අපනයන වලින් විශාල ප්‍රමාණයක් ඇඟළුම්. ප්‍රධාන නිෂ්පාදන කාණ්ඩ 5 ගත්තාම 80%යි. ඒ නිසා තමයි අපි විශේෂ අවධානයක් යොමු කරනවා මේ සාකච්ඡා යන ගමනුත් අර තෝරා ගත්ත ක්ෂේත්‍ර 5 ඇඟළුම්, රබර්, කෙමිකල්, ආහාර නිෂ්පාදන කාර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා කරන්න. ඒ කණ්ඩායම් දැනටමත් අපේ තාක්ෂණික කමිටුවේ සිටිනවා. සෑම විකල්පයක්ම අපි අධ්‍යනය කරනවා දැනටමත් “
“ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය අතරතුර දී මේ ගැටළුවට විසඳුමක් රජය පාර්ෂවයෙන් ඉල්ලා සිටියාද?”
“අනිවාර්යයෙන්ම මේ කාරණය සාකච්ඡාවට බඳුන් කළා. ඉල්ලීමක් කළා. ඒ පිළිබඳව යහපත් ප්‍රතිචාර ලැබුණා සලකා බලනවා කියලා.”
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේන බව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළා.