
“නැමිච්ච ගමන් තමයි… උදේට ඇවිල්ලා නැමුණොත් ආයේ ඉතින් ලේසියෙන් නැගිටින්න බෑ. අපි පුළුවන් විදිහට ඒක කරලා තමයි ආයේ ඔළුව උස්සන්නේ. සෑහෙන්න මහන්සියක් අපි දරනවා. අපි කාටවත් දොස් පවරන්නේ නෑ, ජනතාව ටිකක් හිතන්න ඕනේ, එහෙම කරන්න හොඳ නෑ කියලා හිතන්න ඕනේ… අපි කරන දේවල් නිසා මේ අය මෙහෙම මහන්සි වෙනවා කියලා හිතන්න ඕනේ.”
මේ වචන අපට අසන්නට ලැබුණේ මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයේ කසළ බැහැර කරන කටුගස්තොට ප්‍රදේශයේ ගොහාගොඩ කසළ අංගණයේ සේවය කරන කම්කරු කාන්තාවකගෙනි.
දේවී නම් ඇය සිය සහෝදරිය සමග වසර දෙකක කාලයක් තිස්සේ මෙම කසළ අංගණයේ කසළ වෙන් කිරීම් අංශයේ සේවය කරන අතර, ඇයගේ “සේවා කාලය තුළ වර්ගීකරණය කිරීමට සිදුවූ ලොකු ම කසළ ප්‍රමාණය” වර්ගීකරණය කිරීමට ඇයත් ඇයගේ සහෝදරියත් විශාල පරිශ්‍රමයක් දරමින් සිටින අයුරු ගොහාගොඩ කසළ අංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බීබීසී සිංහල කණ්ඩායමට දැක ගැනීමට හැකි විය.
ලොරි රථවලින් කසළ අංගණයට ගෙනැවිත් දමන මිශ්‍ර කසළ ඔවුන් දෙදෙනා ඇතුළු කණ්ඩායමක් දෑතින් වර්ග කරමින් සිටියහ.
ආසන්න දින කිහිපය තුළ උත්සන්න වූ මෙම තත්ත්වය හමුවේ දහවල් පමණක් නොව රාත්‍රියේ ද ඔවුන්ට සේවය කිරීමට සිදු වූ බව දේවී පැවසුවා ය.
“පොලිතින්වල පැටලිලා වැටිලා මම මේ කකුලේ බෙහෙත් බැඳගෙන තමයි වැඩ කරන්නේ,” ඇය පවසයි.
මේ මෙම ගොහාගොඩ කසළ අංගණයේ සේවය කරන එක කාන්තාවකගේ අත්දැකීම පමණි.
දිවා රාත්‍රී නොබලා ඔවුන්ට මෙලෙස විශාල පරිශ්‍රමයක් දරමින් සේවය කරන්නට සිදුවූයේ, අප්‍රේල් 27 වන දායින් අවසන් වූ ‘දළදා දැක්ම’ සඳහා මහනුවර නගරයට ඒකරාශී වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව විසින් බැහැර කරනු ලැබූ කසළ නියමිත පරිදි වර්ගීකරණයකින් තොරව බැහැර කර තිබීම හේතුවෙනි.
දැවැන්ත ජන සහභාගීත්වයක් සහිතව දින දහයක් පුරා පැවති ‘දළදා දැක්ම’ ආරම්භ කර දින කිහිපයක් ගත වන විට පාලනය කර ගැනීමට අපහසු තරම් බැතිමතුන් සංඛ්‍යාවක් මහනුවර නගරයට ඇදී ආ අතර, මහනුවර නගරයේ සිට කිලෝමිටර් ගණනාවක් ඈතට පෝලිම් විහිදී තිබිණි.
අම්පිටිය සහ කටුගස්තොට වැනි ප්‍රදේශවල බැතිමතුන් මාර්ගවල වැඩි ප්‍රමාණයක් රැඳී සිටීමත් සමග දැඩි රථවාහන තදබදයක් ඇති වූ අතර, කසළ එකතු කිරීම වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා ද එයින් බාධා ඇති විය.
කෙසේ වෙතත්, මෙලෙස මහනුවර නගරයට ඇදී ආ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට විවිධ පරිත්‍යාගශීලින් විසින් දන්සැල් රාශියක් පැවැත්වූ අතර ප්‍රදේශයේ ඇති ඉස්ලාම් දේවස්ථානවල මෙම බැතිමතුන් සඳහා නවාතැන් පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබා දීම ද විශේෂත්වයකි.
මෙලෙස දැඩි තදබදයක් නිර්මාණය වීමත් සමග මහනුවර නගරය සහ ඒ අවට විශාල වශයෙන් කසළ එක්රැස් විය.
මෙම තත්ත්වය සලකා බලා තවදුරටත් බැතිමතුන්ට මහනුවර නගරයට ඇතුළුවීම නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දළදා දැක්මේ සංවිධායක කමිටුව තීන්දුවක් ගන්නා විටත් ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් පෝලිම්වල රැඳී සිටියහ.
මහනුවර නගරයේ ඒ වන විට එක්රැස්ව තිබූ කසළ එකතු කිරීම සඳහා බොහෝ පිරිස් ස්වේච්ඡාවෙන් ද ඉදිරිපත් ව සිටි අතර, මෙම සියලු කසළ බැහැර කෙරුණේ, කටුගස්තොට ගොහාගොඩ පිහිටි කසළ අංගණයට ය.
ගොහාගොඩ කසළ අංගණයට කසළ බැහැර කිරීමට විරෝධය දක්වමින් මේ වන විට අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.
පසුගිය අප්‍රේල් 24 දින බීබීසී සිංහල විසින් මහ නගර සභාවේ ජල සහ අපජල ප්‍රධාන ඉංජිනේරු, ඝන අපද්‍රව්‍ය අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක සම්බන්ධ කර ගත් අතර ඔහු පැවසුවේ, බොහෝ කසළ වෙන් නොකරන ලද මිශ්‍ර කසළ වූ නිසා ඒවා බැහැර කිරීම සහ වර්ගීකරණය කිරීම සඳහා ගොහාගොඩ කසළ අංගණයේ කම්කරුවන් දිවා රාත්‍රී සේවයේ යෙදෙන බව ය.
කසළ අංගණයට පසෙකින් පිහිටා ඇත්තේ මහවැලි ගඟ යි.
දළදා දැක්මේ අවසන් දිනට පෙර දින රාත්‍රියේ අප මහනුවර නගරයට ළඟා වන විටත් බොහෝ පිරිසක් පෝලිම්වල රැඳී සිටි අතර, රාත්‍රියේ ද මහනුවර මහ නගර සභාවේ සේවකයන් සහ ස්වේච්ඡාවෙන් කසළ එක්රැස් කරන පිරිස් කසළ එක්රැස් කරන ආකාරය දැක ගත හැකි විය.
රාත්‍රියේ වුව ද අතරින් පතර මග හැරුණු පුද්ගලයන්ගේ නම් නිවේදනය කරන හඬ ඇසෙමින් තිබිණි.
වැව රවුමේ බැතිමතුන් රැඳී සිටි පෝලිම් අසල විශාල ගමන් මලු ප්‍රමාණයක් ගොඩ ගසා තිබූ අතර, ඒවා දළදා දැක්ම සඳහා පැමිණි බැතිමතුන් අතහැර දමා ගොස් ඇති ගමන් මලු බවට ඒ ආසන්නයේ සිටි පොලිස් නිලධාරිනියක සමග කළ කතාබහකදී දැන ගැනීමට හැකි විය.
දළදා මාලිගාව ආසන්නයේ පිවිසුම් මාර්ග අසල මෙවැනි අතහැර දමා ගිය ගමන් මලු ගොඩ ගැසූ තැන් විශාල සංඛ්‍යාවක් තිබෙනු අපට දැක ගත හැකි විය.
එයට දෙවන නොවන පරිදි අතහැර ගිය සෙරෙප්පු ද තැන් තැන්වල විශාල වශයෙන් තිබිණි.
තදබදය අතිශය උත්සන්න අවස්ථාවේ නගරයේ කැලි කසළ ගොඩගැසී තිබුණු ආකාරයට කසළ නගරයේ දැක ගැනීමට නොහැකි වූ නමුත් තවදුරටත් බොහෝ දෙනෙකු කුණු බැහැර කර තිබුණේ කසළ වෙන් කිරීමකින් තොරව වූ නිසා ඒවා කසළ අංගණය වෙත ගෙන යාමට ලොරි රථවලට පැටවුණේ ද මිශ්‍ර කසළ ලෙස ය.
දළදා දැක්ම අවසන් වීමත් සමග බොහෝ පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මහනුවර නගර සීමාවේ කසළ ඉවත් කර තිබූ අතර, මහනුවර නගරයේ කසළ ගැටලුවට සැලකිය යුතු පිළිතුරක් ලැබී ඇති බවක් අප්‍රේල් 27 රාත්‍රිය වන විට පෙනෙන්නට තිබිණි.
නමුත් ඇත්ත වශයෙන් ම සිදුව තිබුණේ මහනුවර නගරය ආශ්‍රිතව පැවති කසළ ගැටලුව වෙනත් තැනක සැලකිය යුතු ගැටලුවක් බවට පත් වීම බව ගොහාගොඩ කසළ අංගණයේ නිරීක්ෂණ චාරිකාවේදී බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.
දළදා දැක්මේ අවසන් දිනයේ උදෑසනින් ම ගොහාගොඩ කසළ අංගණය වෙත ගිය අපහට දැක ගැනීමට හැකි වූයේ කම්කරුවන් පිරිසක් එම ස්ථානයේ කසළ වර්ගීකරණය කරන ආකාරය යි.
මිශ්‍ර කසළ මලු තැන් තැන්වල ගොඩ ගසා තිබූ අතර, ඔවුහු එම මලුවලින් කසළ එලියට ගෙන ඒවා වර්ග කරමින් සිටියහ.
බීබීසී සිංහල මහ නගර සභාවේ ජල හා අපජල ප්‍රධාන ඉංජිනේරු සහ ඝන අපද්‍රව්‍ය අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක සමග එම ස්ථානයේදී මෙම කසළ ගැටලුව සම්බන්ධයෙන් ඔහුගේ අදහස් විමසීය.
වසර දෙකක අසන්න කාලයක පටන් මහනුවර මහ නගර සභාවේ කසළ එක්රැස් කිරීම සිදුවූයේ වර්ගීකරණය කරන ලද කසළ ලෙස බව ඔහු පැවසුවේ ය.
නමුත් දළදා දැක්ම සඳහා තිබූ අධික ජන සහභාගීත්වය නිසා කසළ කළමනාකරණ සේවා බිඳ වැටුණු බව ඔහු පවසයි.
“මම හිතන්නේ අම්පිටිය පාරේ ලක්ෂ දෙකක් විතර හිටියා පාර වහගෙන. අපට දවස් තුනක් විතර අම්පිටිය පාරට යන්න බැරි වුණා සෙනග වැඩි නිසා. කසළ එකතු කරන්න, ගලි බවුසර් යවන්න කිසි දෙයක් කරන්න බැරි වුණා,” ඉංජිනේරුවරයා පැවසීය.
“ප්‍රජාව සැලසුමක් ඇතිව කසළ කළමනාකරණය සැලසුම් කර ගත්තා නම් මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් දැන් වෙලා තියෙන්නේ ඔක්කොම එකසැරේ එක්රැස් වුණා. දවස් ගාණක් මෙතන රැඳිලා හිටියා. කසළ කළමනාකරණ සේවාවන් බිඳ වැටුණා. ඒ සමග වර්ගීකරණය කරපු නැති කසළ විශාල ප්‍රමාණයකින් එකතු වුණ එක තමයි අර්බුදය වුණේ.”
මෙලෙස එකතු වූ කසළවලට සිදුකරන්නේ කුමක් ද යන්න එහිදී අපි විමසීමු.
සාමාන්‍ය දිනවල එකතු වන කසළවලින් බහුතරයක් ප්රතිචක්රීයකරණය කරන බව ඉංජිනේරු නාමල් පැවසුවේ ය.
ප්ලාස්ටික් බෝතල් වැනි ඇතැම් නොදිරන ඝන අපද්‍රව්‍ය විවිධ සමාගම් විසින් මිල දී ගන්නා බව ද ඔහු පවසයි.
නමුත් පසුගිය දින කිහිපයේ එකතු වූ කසළ, මිශ්‍ර කසළ ලෙස එක්රැස් වී තිබූ නිසා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට ඒවා යොමු කළ නොහැකි බවත්, ඒවා කම්කරුවන් යොදා සම්පූර්ණයෙන් වර්ගීකරණය කළහොත් වසර දෙකක පමණ කාලයක් ගත වන බව ඔහු පෙන්වා දුන්නේ ය.
“මීට කලින් සාමාන්‍යයෙන් මිශ්‍ර කසළ දවසකට ආවේ ටොන් 4ක් 5ක් උපරිම. ඒක අපි මෙතනට ගෙනැල්ලා කම්කරුවෝ 6ක් දාලා වර්ගීකරණය කරනවා. නමුත් මේ වෙලාවේ දවසකට ආව ටොන් 50කට අධික ප්‍රමාණය තනිකර ආවේ මිශ්‍ර කසළ. මේක වර්ගීකරණය කරනවා නම් ටොන් 5කට කම්කරුවෝ 6 දෙනෙක් දානවා නම් ටොන් 50ට ඒ වගේ දහ ගුණයක් දාන්න ඕනෙ.”
“මේ වගේ මිශ්‍ර කසළ සනීපාරක්ෂක දාහකයකින් පුච්චනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. මේ ගොඩගැහුණු ප්‍රමාණය ක්ලියර් කරන්න අවුරුදු දෙකක්වත් යනවා මිනිස්සු දාලා වෙන් කරන්න ගියොත්,” ඔහු පැවසීය.
ඒ වගේ ම මේ කම්කරුවන්ට ඒ රාජකාරිය ඒ විදිහට එක දිගට කරන්න බෑ. නැවිලා එකතු කරන්න ඕනේ. අපේ සෝටින් ප්ලාන්ට් එකට [අපද්‍රව්‍ය වෙන් කරන යන්ත්‍රයක්] දාන්න විදිහකුත් නෑ ඒ යන්ත්‍රවලට හානි වෙන්න පුළුවන් මේ වගේ මිශ්‍ර කසළ දැම්මොත්.”
එමෙන් ම, මහනුවර මහ නගර සභාවේ කසළ වසර 50කට අධික කාලයක් තිස්සේ බැහැර කරනු ලබන මෙම කසළ අංගණයේ එක් කොටසක් පිට්ටනියක් ලෙස සකස් කර තිබූ බවත් එය දැන් කුණු දැමීම සඳහා යළි යොදා ගැනීමට සිදුවූ බවත් ඔහු පැවසීය.
අප කසළ අංගණයට ගිය අප්‍රේල් 27 වන දින උදෑසන 11 විටත්, අප්‍රේල් 18 වන දා සිට ගොහාගොඩ අංගණය වෙත ගෙනවිත් තිබූ කසළ ප්‍රමාණය ටොන් 500 ඉක්මවා තිබිණි.
දළදා දැක්ම අවසන් වීමෙන් පසුව අප්‍රේල් 28 වන දින උදෑසන වන විට කසළ අංගණයට එක්රැස්ව තිබූ සම්පූර්ණ කසළ ප්‍රමාණය ටොන් 600 ඉක්මවා තිබිණි.
මහනුවර නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ ප්‍රධානියා පැවසුවේ, එක් පුද්ගලයෙකු දළ වශයෙන් කසළ කිලෝග්‍රෑම් එකක් පමණ මුදා හැර ඇති බව ය.
“ලක්ෂ 5ක් විතර තමයි දළදා වැඳලා තියෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් දාලා තියෙන්නේ කිලෝග්‍රෑම් 1ක් වගේ ප්‍රමාණයක්,” ඔහු පැවසුවේ ය.
පසුගිය මාර්තු මාසයේ සාමාන්‍ය දිනක කසළ අංගණය වෙත ගෙන එන කසළ ප්‍රමාණය ටොන් 50ක් පමණ වන බව කසළ අංගණයේ දත්තවලින් දැක ගත හැකි විය.
මහනුවර නගරයේ වාර්ෂිකව දළදා පෙරහැර ක්‍රියාත්මක වුවත් මෙවැනි තත්ත්වයක් උද්ගත වී නැත.
“පෙරහැර කීයට ඉවර වුණත් පැය දෙකක් යන්න කලින් අපි ඔක්කොම සුද්ද කරනවා. පහුවෙනිදා උදේට තියෙන්නේ අලුත් නගරයක්,” ඉංජිනේරුවරයා පැවසුවේ ය.
“මෙතන ඉන්න කම්කරුවන් පාන්දර 3 වෙනකන් වැඩ. එතන ඉන්න අයගෙන් අහලා බලන්න ඔවුන් බහුතරයකට දැන් උණ හැදිලා එක දිගට වැඩකරලා මහන්සි යි. තෙහෙට්ටුව. ඕනෑ ම දෙයක ඕනෑ ම කෙනෙක්ට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
ජාතික ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනේ නිර්මාතෘ ආචාර්ය අජන්තා පෙරේරාගෙන් බීබීසී සිංහල සිදුකළ විමසීමකදී ඇය පැවසුවේ, මෙලෙස ගොහාගොඩට කුණු බැහැර කිරීම මගින් ඒ ආසන්නයේ ඇති මහවැලි ගඟට බලපෑමක් ඇති කරන බව ය.
“ගොහාගොඩ ඔය කුණු දාන තැන හොඳ නැති තැනක් කියලා තමයි එදා ඉඳල ම කිව්වේ. ඔය ස්ථානය කිසිසේත් ම සුදුසු නෑ කියන එක. මහනුවර මහ නගර සභාවට විශාල ගැටලුවක් ඇති කළා මේ සිද්ධිය.”
“දළදා මාලිගාව ඉතා ම උතුම් කාර්යයක් තමයි ක්‍රියාත්මක කළේ. නමුත් කිසි ම සැලසුමක් නැතිව කරපු මේ තුළින් විශාල ම ගැටලුවක් ඇති වුණේ නගර සභාවට.
දැන් ගොහාගොඩට කුණු ටොන් 600ක් අතහැරිය ම ඒකෙ බලපෑම සිදුවෙන්නේ එහා පැත්තේ තියෙන මහවැලි ගඟට. එහෙම වුණොත් මහවැලි ගඟ ඉතා ම ශීඝ්‍රයෙන් අපවිත්‍ර වෙනවා,” ඇය අනතුරු ඇඟවූවා ය.
ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත පැවති මෙම දළදා දැක්මේ කසළ කළමනාකරණය සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත් වීමට තිබූ බව ද ඇය පැවසුවා ය.
“මේකේ අනුග්‍රහය සියල්ල දැක්වූවේ ජනාධිපතිතුමා නේ. ජනාධිපතිතුමා මේ තත්ත්වයේ බැරෑරුම්කම ගැන නොදැන ද කටයුතු කළේ කියන ප්රශ්නය මට තියෙනවා.”
එමෙන් ම, මීට පෙර මහනුවර ඇසළ පෙරහර පවතින කාල සීමාවේ පරිසරයට කසළ එකතුවීම වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක වූ බව ඇය පවසයි.
‘පරිසරය පූජනීයයි-පරිසරය සුරකිමු’ කියන පෙරහැර කාලසීමාවේ පරිසරය සුරැකීම වෙනුවෙන් විශේෂයෙන් සකස් කරපු වැඩසටහනේ මම උපදේශකවරිය වශයෙන් කටයුතු කළා. එතකොට අපි පෙරහැර බලන්න එන අයට ගෙන්න ඕනේ මොනව ද නැත්තේ මොනව ද කියලා දැනුම් දුන්නා. දේශපාලන අරමුණු ක්‍රියාත්මක කර ගන්න යන්නේ නැතිව ඡන්ද පස්සේ යන්නේ නැතිව හරියට මේ වැඩේ කළා නම් අද කුණු කඳු පිරෙන්නේ නෑ.”
ගොහාගොඩ කසළ අංගණයට කසළ බැහැර කිරීම වළක්වන ලෙස ඉල්ලා ගම්වැසියන් පිරිසක් 2013 වර්ෂයේදී ගොනු කළ නඩුවක් තවමත් විභාග වෙමින් පවතින අතර, එය මෙලෙස මහනුවර නගරය දැවැන්ත කසළ අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතරවාරයේ එනම්, අප්‍රේල් 25 වන දා කැඳවිණි.
“ගොහාගොඩ ඒ ස්ථානයේ කසළ දාන්න එපා කියලා ගමේ මිනිස්සු අවුරුදු ගාණක් කියනවා,” ආචාර්ය අජන්තා පැවසුවා ය.
අප ඒ සම්බන්ධයෙන් ඉංජිනේරු නාමල් දිසානායකගෙන් ද විමසූ අතර ඔහු පැවසුවේ, මහවැලි ගඟට කසළ එකතු වීමක් සිදුනොවන බව ය.
“ජනතාව අපට දාපු නඩුවක් තියෙන්නේ. කුණු කන්දක් තියෙනවා කියන්නේ ඉතින් ගඳයි. නහය තියෙන ඕනෑ ම මනුස්සයෙක්ට ඒ ගඳ දැනෙනවා,” ඔහු පැවසුවේ ය.
– BBC