
වර්තමාන ආණ්ඩුවට ජනතාව ඡන්දය දීම වැරදි වුවත් එය පිළිගත යුතු බවත් ජනතාව ඡන්දය දීමේ ඉතාම භයානක ප්‍රතිඵලය ජනතාවටම විදීමට සිදුවී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ බොරුව නවතනු පොරොන්දු ඉටුකරනු යන තේමාව යටතේ අද (1) පැවැති එම පක්ෂයේ කම්කරු දින සැමරුම් උත්සවයේදී එම පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.
ජනතාව පසුගිය මැතිවණවලදී සියලුම දේශපාලන පක්ෂවලට දුන් පණිවුඩය අනිවාර්යෙන්ම වටහාගත යුතු බවත් එසේ නොවී පැරණි විදියටම ගිය හොත් පැවැත්මක් නොමැති බවත් සභාපතිවරයා කියා සිටියා.
ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ පසුගිය කාලයේ දේශපාලන කුණාටුවකට හසුව සෑම පක්ෂයක්ම දෙකට තුනට කැඩුණු බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් මුහුණදීමට සිදුවූ තත්වයක් නොවන බවත් ඒ මහතා සඳහන් කළා.
මැයි දිනයේ අයිතිකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැයි දිනය අභිමානවත් දිනයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ කම්කරු අමාත්‍යවරයා වූ ටී. බී. ඉලංගරත්න මහතා මෙරටට කම්කරු දිනයක් ප්‍රකාශයට පත්කළ බවත් ඒ මහතා කියා සිටියා.
මෙරට කොතරම් දේශපාලන පක්ෂ තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සමත් වූ බව කී සිල්වා මහතා සඳහන් කළේ වචනයට පමණක් නොව ක්‍රියාවෙන්ම කම්කරු ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් තුළ කම්කරු ජනතාව වෙනුවෙන් ප්‍රායෝගික සහ නීතිමය ක්‍රියාමාර්ග රැසක් ද ගැනීමට සමත් වූ බවත් ගොවිජනතාව වෙනුවෙන් කුඹුරු පනත වැනි පනත් ගෙන එමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්ත ශ්‍රී ලාංකික වැඩකරන ජනතාව වෙනුවෙන් නොමැකෙන සේවයක් කළ බවත් ඒ මහතා කියා සිටියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක නායිකාවන් රැල්ලට ගසාගෙන ආ නායක නායිකාවන් නොවන බවත් වෘතීය සමිති ව්‍යාපාරය, කාලීන දේශපාලන තත්වයන් පිළිබඳව සහ ජාතික ආර්ථිකය පිළිබඳව ගැඹුරු දැනුමකින් යුත් පිරිසක් බවත් ඒ මහතා සඳහන් කළා.