ආසියානු පාපන්දු කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10) සමත් වුණා.
ඒ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවන වටය යටතේ පැවති තරගයකදී කාම්බෝජය පරාජයට පත්කරමින්.
ඔවුන් පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 180 වැනි ස්ථානයේ පසුවනවා.
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර දෙවන අදියරේ තරගය ඊයේ පැවැත්වුණේ කාම්බෝජයේදීයි.
තරගයේ පළමු අර්ධයේ 37 වැනි මිනිත්තුවේදි ගෝලයක් වාර්තා කළ ශ්‍රී ලංකාව පළමු අර්ධය නිමා වනවිට ගෝල 1ට 0ක් ලෙස පෙරමුණ ගත්තා.
නමුත් දෙවන අර්ධයේ 51 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ කාම්බෝජය ගෝලයක් රැස් කරමින් තරගයේ ගෝල සමකළ අතර තරගයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් රැස්කරගෙන සිටියා.
ඒ අනුව ජයග්‍රාහී කණ්ඩායම තෝරා ගැනීමට ලබාදුන් අතිරේක කාලයේදී තවත් ගෝලයක් රැස්කළ කාම්බෝජය අවසන් මිනිත්තුව දක්වාම තරගයේ පෙරමුණ ගත්තා.
කෙසේවෙතත් තරගයේ අවසන් මිනිත්තුවේදී ශ්‍රී ලංකාව ගෝලයක් රැස්කළේ නැවතත් තරගයේ ගෝල සංඛ්‍යාව සමකරමින්.
ඒ අනුව ජයග්‍රහකයින් තේරීමට දඬුවම් පහර අවස්ථාව ක්‍රියාත්මක කෙරුණා.
එහිදී කාම්බෝජයේ පළමු දඩුවම් පහර අවස්ථාව ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා ගෝල රකින්නා වන සුජාන් පෙරේරා සමත්වුණේ කාම්බෝජය දෙසට පීඩනය එල්ල කරමින්.
ශ්‍රී ලංකාව සිය මුල් දඩුවම් පහර අවස්ථා 4ම සාර්ථක කර ගැනීමට සමත් වූ අතර කාම්බෝජයට දඬුවම් පහර අවස්ථාවේදි සාර්ථක කර ගත්තේ අවස්ථා 2ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකාව 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා