ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2022/2023 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 73.3ක පාඩුවක් ලබා ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති අවසාන ඇයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වනවා.
කෙසේවෙතත් 2021/2022 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව මෙම මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබා ඇති පාඩුව අඩුවී තිබෙනවා. 2022/2023 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 372.5ක ආදායමක් උපයා තිබෙනවා. සංචාරක කර්මාන්තයේ වර්ධනයත් සමග ගුවන් මගී ආදායම රුපියල් බිලියන 293.3 දක්වා වැඩි වී තිබෙනවා.
ගුවන් සමාගම විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 102.5ක හිඟ මුදල පියවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ගුවන් සමාගම වෙත ලබා දී තිබුණා. ගුවන් සමාගමේ මූල්‍ය තිරසාරභාවය ඇති කිරීම සඳහා නව ආයෝජක අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් ගුවන් සමාගමේ අයිතිය බැහැර කිරීමට රජය තීරණය කර තිබෙනවා.