සමාජ ජාල වල පළ කරන අසත්‍ය හා අපහාසාත්මක සටහන් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය දැඩි මානසික ආතතියට සහ අසහනයට පත්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ඇය කොළඹ ජාතික රෝහලේ මානසික සෞඛ්‍ය සායනයෙන් ප්‍රතිකාර ගන්නා ලෙස ඇයට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි අධිකරණයට කියා සිටියා.
කොට්ටහච්චි මහත්මිය සම්බන්ධයෙන් අපහාසාත්මක සටහනක් සමාජ ජාල ඔස්සේ පළ කල බවට අත්අඩංගුවට ගන්නා ලද හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවින්ද කම්මුති මහතා අධිකරණ ඉදිරිපත් කරමින් රහස් පොලිසිය මේ බව කියා සිටියා.
මෙම සටහන හේතුවෙන් තමන් දැඩි ලැජ්ජාවට බියට මානසික අපහසුතාවයට මෙන්ම සමාජයේ අපකීර්තියට දක්වා ඇති බවත් නිවැසියන් පවා තමන් අප්‍රසාදයට පත්කර ඇති බවත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ල මගින් දැනුම් දී තිබෙනවා.
මෙම සටහන හේතුවෙන් ඇති වූ මානසික අසහනය හා පීඩාවට ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන මානසික වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් ඇයට වැඩිදුර මානසික ප්‍රතිකාර අවශ්‍ය බැවින් ජාතික රෝහලේ මානසික රෝගී සායනයට යොමු කර ඇති බවත් රහස් පොලිසිය තවදුරටත් කියා සිටියා.
ඊයේ දිනය සිදු කරන ලද මෙම කරුණු දැක්වීමෙන් අනතුරුව දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් පසු සැකකරුට තරයේ අවවාද කරමින් රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.