![](https://sinhala-themorningtelegraph.com/wp-content/uploads/2025/01/10-11.jpg)
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ සැකකාර මන්ත්‍රීවරයාව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
කෙසේවෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සමාජයේ බොහෝ සෙයින් කතාබහට ලක්වී ඇත්තේ අර්චුනා මන්ත්‍රීවරයාව මාංචු දමා ගෙන යාම නිසායි
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා ආක්‍රමණශීලී බවක් හෝ විරුද්ධත්වයක් නොපෙන්වුවද, ඔහු අත්වලට මාංචු දමා තිබුණු අතර සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් විසින් ඉතාමත් උද්යෝගයෙන් ඔවුන්ගේ ජංගම දුරකථනවලින් වීඩියෝ කර තිබෙන අයුරු දැක්වෙනවා.
අනුරාධපුරයේ පොලිස් රාජකාරිවලට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රීවරයාට මාංචු දමා සිදු කළ මෙම අත්අඩංගුවට ගැනීම, විශේෂයෙන් මෑත කාලීන ඉහළ පෙළේ අත්අඩංගුවට ගැනීම් වලදී සිදු කළ පොලිසියේ වෙනස් සැලකිලි මහජනතාව තුළ කතාබහක් මතු කර තිබෙනවා.
නිල ඇඳුමින් සැරසුණු නිලධාරියෙකු එහි සිටියද, සිවිල් ඇඳුමින් සැරසුණු අනෙකුත් පොලිස් නිලධාරීන් තමන්ව හඳුනා ගැනීමට අපොහොසත් වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඔවුන්ගේ නිල බලපත්‍ර ඉල්ලා සිටියා. එමෙන්ම මන්ත්‍රීවරයා දෙමළ කතා කරන පුරවැසියෙකු වුවද, අත්අඩංගුවට ගැනීමේ ලේඛනය සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇති බව පෙන්වා දී තිබෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව, පාර්ලිමේන්තු කථානායකවරයාට තමන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව කලින් දැනුම් දී ඇත්දැයි ඔහු එහිදී ප්‍රශ්න කර තිබෙන බවත් වාර්තා වනවා.
අනුරාධපුරයේ සිදුවීම
ජනවාරි 20 වන දින අනුරාධපුරයේ රඹෑව ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාජකාරියේ යෙදී සිටි රථවාහන පොලිස් නිලධාරීන්ට බාධා කළ බවට චෝදනා එල්ල වූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ වුණා. වාර්තාවලින් පෙනී යන්නේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිවාරයකට යමින් සිටියදී ඔහුගේ වාහනයේ අනවසර ‘VIP ලයිට්’ භාවිතා කිරීම හේතුවෙන් ඔහුව නතර කළ බවයි. එය අනෙකුත් මාර්ග භාවිතා කරන්නන්ට බාධාවක් වූ බව පැවසෙනවා. එම අවස්ථාවේදී අර්චුනා සහ නිලධාරීන් අතර ගැටුමක් ඇති වූ අතර, එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇති වුණා.
නීතිය ක්‍රියාත්මක කිරීමේ වෙනස්කම
කෙසේවෙතත් මෙම අත්අඩංගුවට ගැනීම ඉහළ පෙළේ සැකකරුවන් සම්බන්ධයෙන් වන වෙනස් කොට සැලකීම සහ පොලිසියේ හැසිරවීමේ විෂමතා පිළිබඳව මහජන විවාදයක් යළිත් ඇති කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විට මාංචු නොදැමුවේ මන්දැයි ප්‍රශ්න මතු කර තිබෙනවා.
විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ මාංචු දැමීම සියලුම සැකකරුවන් සඳහා අනිවාර්ය ක්‍රියා පටිපාටියක් නොවන බවත්, සැකකරුගේ හැසිරීම අනුව එය අත්අඩංගුවට ගැනීමේ නිලධාරියාගේ අභිමතය පරිදි සිදු කරන බවත්ය. යෝෂිත අත්අඩංගුවට ගැනීමේ පුළුල් ලෙස සංසරණය වන ඡායාරූපය නීතිය ක්‍රියාත්මක කරන්නන් විසින් ගන්නා ලද එකක් නොව, බෙලිඅත්ත අධිවේගී මාර්ග මුරපොලේදී නාඳුනන පුද්ගලයෙකු විසින් ගන්නා ලද එකක් බවත් පොලිස් ප්‍රකාශකවරයා පැහැදිලි කළා.
කෙසේවෙතත් අර්චුන මන්ත්‍රීවරයා දැන් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර නඩුව අධිකරණයේ විභාග කිරීමට නියමිත බැවින්, අත්අඩංගුවට ගැනීම නීතිය ක්‍රියාත්මක කිරීමේ අපක්ෂපාතීත්වය, දේශපාලන බලපෑම සහ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ ක්‍රියා පටිපාටිමය අනුකූලතාව පිළිබඳ පුළුල් ගැටළු මතු කරනවා.