
මෙරට ජාතික ඔලිම්පික් කමිටුව තුළ දූෂණයට සම්බන්ධ නිලධාරීන් ඉවත් කරන තෙක් අරමුදල් නිදහස් කිරීම ආසියානු ඔලිම්පික් කවුන්සිලය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.
පසුගිය දෙසැම්බර් මාසයේදී ආසියානු ඔලිම්පික් කවුන්සිලය සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් පනවා ඇති මූල්‍ය අත්හිටුවීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, ජාතික ඔලිම්පික් කමිටුවේ අසාර්ථක පරිපාලනය සහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වාට එරෙහිව ඇති මූල්‍ය විෂමාචාර චෝදනා මෙයට බලපා ඇති බව සදහන් වනවා.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ගේ අරජනක ඉල්ලීම් මැද ආසියානු ඔලිම්පික් කමිටුව තම දැඩි තීරණය තවදුරටත් පවත්වාගෙන යාමට කටයුතු කරමින් පවතින අතර, පෙබරවාරි 17 දින සභාපති සුබ්‍රමනියම් වෙත යොමු කළ ලිපියකින් ඔවුන් මෙම තීරණය දැනුම් දී තිබෙනවා.
“ක්‍රීඩක ක්‍රීඩිකාවන් පීඩාවට පත්නොවිය යුතු බැවින් ඔවුන්ගේ යහපත වෙනුවෙන් ඔබේ ඉල්ලීම නැවත සළකා බැලීමට ආසියානු ඔලිම්පික් කමිටුව කැමැත්තෙන් සිටී. කෙසේවෙතත්, අප සාකච්ඡා කිරීමට පෙර, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව යොමුකළ ඒකාබද්ධ ලිපිවල නියෝග සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. දූෂණයට සම්බන්ධ අය මුළුමනින්ම ඉවත් විය යුතුය. වර්තමාන හෝ අනාගත කටයුතුවලදී ඔවුන්ට තැනක් නැත.” යනුවෙන් ඔවුන් දැනුම් දී තිබෙනවා.