
සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදා වනවා.
අනතුරුව හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙහි සමාරම්භක අවස්ථාව අද දහවල් 12:30ට පමණ සිදුවන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ක්‍රිස්තු වර්ෂ 310දී පමණ ත්‍රිකුණාමලයේ අප්‍රකට වරායකින් ලංකාද්වීපයට වැඩම කරවූ දළදා වහන්සේ මෙරට රාජධානි කිහිපයක ගමන් මඟින් පසු වර්තමානයේ ඓතිහාසික සෙංකඩගල දළදා මැදුරේ දළදා වහන්සේ ලෝවාසි ජනීජනයාගේ වන්දනා මානයට පාත්‍ර වනවා.
සිරි දළදා වන්දනාවේ පළමු දැක්ම අදට වසර 1715කට පෙර අනුරපුර කිත්සිරිමෙවන් මහරජු දවස දක්වා දිවෙන බව දාඨා වංශයේත්, පාහියන් චීන දේශාඨන වාර්තාවලත් සඳහන්.
මෑත කාලීන ඉතිහාසයේ, 1828, 1882, 1972, 1978, 1991, 1995, 2001, 2004 සහ අවසන් වරට 2009 වසරේදී සිරි දළදා වන්දනාව පැවැත්වුණා.
ඒ අනුව, වසර 16කට පසු ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් බැතිමතුන්ට මෙවර උදාවී තිබෙනවා.
මෙවර සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක් සලසාදී තිබෙනවා.
ඒ, ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් පෝලිම
රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම
රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම වශයෙන්.
මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට බැතිමතුන් පැමිණෙමින් සිටින බව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිග පරිශ්‍රයේ රැඳීසිටින බවට වාර්තා වනවා.