පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මහියංගනය පොලිස් වසමේ කිරලමුල්ල ප්‍රදේශයේ වනඅලියෙකු පහරදිමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පොලීසියට පසුගියදා ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර පසුව අනාවරණය වී ඇත්තේ එය වනඅලි ප්‍රහාරයකින් සිදු වූ මරණයක් නොව එය මනුෂ්‍ය ඝාතනයක් බවයි.
සිද්ධිය සිදු වූ දින රාත්‍රී කාලයේදී මියගිය පුද්ගලයා නිවසට නොපැමිණීම නිසා ඔහුගේ මව ඒ සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර ඔහු වනඅලියෙකු පහරදී තුවාල ලබා ප්‍රදේශයේ පිහිටි දේවාලයකට ගෙනවිත් ඇති බවට ආරංචි වී ඇති තිබෙනවා.
පසුව මරණකරුගේ මව ත්‍රීරෝද රථයකින් සිය පුතු නිවසට ගෙන්වා ගෙන ඇති අතර එහිදී මරණකරු පවසා ඇත්තේ තමාට වනඅලියෙකු පහර නොදුන් බවයි.
ඉන්පසුව සුළු වේලාවකින් ඔහු සිහිසුන් තත්ත්වයට පත්ව ඇති අතර ඔහුව රෝහල්ගත කිරීම සඳහා 1990 ගිලන් රථ සේවයට දැනුම් දී තිබෙනවා.
එහි නිලධාරීන් පැමිණ ඔහුව පරීක්ෂා කර එම පුද්ගලයා මිය ගොස් ඇති බව නිවැසියන්ට දැනුම් දී තිබුණි.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් පිරිසක් විසින් මරණකරුට පහරදීමක් සිදු කර පසුව ප්‍රදේශයේ දේවාලය වෙත රැගෙනවිත් ඇති බවට විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 18, 24, 28 හා 35 යන වයස්වල පසුවන අය වනවා.