යතුරුපැදි සමාජයක සභාපතිවරයෙකු වන මධුරංග කල්දේරා,යතුරු පැදි සම්මේලනයේ (FMSSL) තහනමකට ලක්ව සිටි අයෙක්. එසේ තිබියදී කටුකුරුන්දේ පැවැත්වුණු රොතර්හැම් මෝටර් රථ ධාවන තරඟාවලියට එක්වීම, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලනය පිළිබඳව ප්රශ්නකාරී බවක් මතු වී තිබෙනවා.
කෙසේවෙතත් කල්දේරා මේ තරඟයට සහභාගී වී ඇත්තේ ක්‍රීඩා සංවර්ධන අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතාගෙන් සහතිකයක් ලබා ගැනීමෙන් අනතුරුවයි. 2024 නොවැම්බර් 22 දිනැති ලබා ගෙන තිබූ මෙම සහතිකය ශ්‍රී ලංකා ඔටෝ ස්පෝර්ට්ස් රියදුරු සංගමයේ (SLADA) සභාපති රිස්වි ෆාරුක් වෙත යොමු කිරීම මෝටර් රථ ප්‍රජාව තුළ මතභේදයට තුඩු දුන් කාරණයක් වුණා.
එමෙන්ම ශ්‍රී ලංකා යතුරු පැදි සම්මේලනයේ ලේකම් මලින්ද කරන්ගොඩ මෙම පියවරට දැඩි ලෙස විරුද්ධ වී තිබෙනවා. ඒ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල නොවීම, වෛද්‍ය අවසර නොමැතිකම සහ වලංගු නොවන ධාවන බලපත්‍රයක් සඳහන් කරමිනුයි. කෙසේවෙතත් ඔහුගේ මෙම උත්සාහය සම්මේලනයේ කැපවීම ඉස්මතු කර තිබීම විශේෂත්වයක්.
මධුරංග කල්දේරාගේ ඉතිහාස සිදුවීම් දෙස බලන විට ඔහුගේ විනය පිළිබඳව ඉතා ප්රශ්නකාරී සිදුවීම් සිදුව තිබෙනවා. කල්දේරා තරඟයක ප්‍රධාන පරීක්ෂකවරයා සමගද ගැටුම් ඇති කර ගෙන ඇති අතර එය කායික ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා. එම ස්ථානයට නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීන් පැමිණීමත් සමග කල්දේරා එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා. යතුරුපැදි සම්මේලනයේ හිටපු සභාපති සහ දැනට විනය කමිටුවේ සාමාජිකයෙකු වන ටී. රගුනාදන්ට පහර දුන් බවටද පැවසෙනවා. මේ සියලු දේවල්වලින් කියැවෙන්නේ ඔහුගේ විනය පිළිබඳව ඇති ගැටලුවයි.
කරුණු එසේ තිබියදී වෛද්‍ය ප්‍රනාන්දුගේ මෙම මැදිහත්වීම බලය අයුතු ලෙස භාවිතා කිරීමක් ලෙස බොහෝ දෙනා විසින් විවේචන එල්ල කර තිබෙනවා. පසුගිය රාජපක්ෂ රෙජීමයේ බලගතු දේශපාලන චරිත සමග කල්දේරාගේ ඇති සබඳතා, අධ්යක්ෂ ජනරාල්වරයාගේ මෙම තීරණයට බලපෑවා යැයි බොහෝ අය අනුමාන කරනු ලබනවා.
කෙසේවෙතත් ඕනෑම ක්‍රීඩාවකදී කුසලතා සහ රෙගුලාසිවලට අනුකූලව තීරණ ගැනීම සහතික කිරීමට වගකිවයුත්තන් වග බලා ගත යුතුයි. නැතහොත් ක්‍රීඩාවේ විශ්වාසනීයත්වය නැතිවී යාමෙන් මෝටර් රථ ධාවන තරඟ, රසිකයින් සහ සහභාගිවන්නන් දුරස් කිරීම සහ එහි අනාගතය අනතුරේ හෙළීමක් විය හැකිය.