ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නියමිත ස්වර්ණ නාඩු සහල් තොග මිල මේ වන විට ඉන්දියානු රුපියල් 25ක පමණ අගයක් පෙන්වනවා.
ඒ අනුව එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 85ක් පමණ වනවා.
නැව් ගාස්තු ද සමග කොළඹ වරායට එම වර්ගයේ සහල් කිලොවක් තොග මිල රුපියල් සියයක් ආසන්න වෙද්දී ගොඩ බාගත හැකියාව තිබෙන බවයි වාර්තා වන්නේ.
දේශීය වෙළඳපළේ විශාල වශයෙන් ඉහල ගොස් ඇති සහල් මිල මෙම සහල් තොග ආනයනය සමඟ පහළ යනු ඇති බව සහල් ආනයනකරුවන් විශ්වාසය පළ කරනවා.
මෑතකදී සහල් කුඩා මෝල් හිමියන්ද කියා සිටියේ ඉන්දියාවෙන් සහල් ආනයන කළ කළ හොත් රුපියල් 135ක පමණ මුදලකට වෙලඳපලේ අලෙවි කළ හැකි වනු ඇති බවයි.
මෙරට වෙලදපලේ මේ වන විට නාඩු සහල් උග්‍ර හිඟයක් පවතින අතර කිලෝව රුපියල් 240 ඉක්මවා ගොස් තිබෙනවා.
එම තත්වය පාලනය සදහා රජය තීරණය කර ඇත්තේ ඉන්දියාවෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමටයි.
මෙම සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද සිට ලක් සතොස හරහා ටෙන්ඩර් කැදවා ඇති අතර දින 7 ක් ඇතුළත ආනයනකරුවන්ට ඉදිරිපත් විය හැකියි.
එම සහල් ලක් සතොස අලෙවි සැල් හරහා මෙන්ම සුපිරි වෙළෙඳ සැල් හා සාමාන්‍ය තොග වෙළෙඳ සැල් හරහාද බෙදා හැරීමට සැලසුම්කර තිබෙනවා.
උත්සව සමයට පෙර මෙම සහල් වෙළෙඳ පොලට නිකුත් කිරීමට රජය අපේක්ෂා කරනවා.