පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් අලෙවි කරන ලද දූෂිත සිසිල් බීම වර්ගයක් පානය කිරීම හේතුවෙන් තරුණියක් රෝහල් ගතකිරීමේ සිද්ධියට තම ආයතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බව එලිෆන්ට් හවුස් බීම සමාගම ප්‍රකාශ කරනවා.
19 හැවිරිදි තරුණිය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ආපනශාලාවකදී අදාළ පානය ලබාගෙන ඇති අතර පසුව ඇය රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගතකර තිබුණා.
එම දියරය පිරිසිදු කරන රසායන ද්‍රව්‍යයක් මිස එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් (ඊජීබී) නොවන බව පසුව අනාවරණ වුණා.
එලිෆන්ට් හවුස් බෙවරේජස් පැවසුවේ එම ආපනශාලාව විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු දියර ගබඩා කිරීම සඳහා හිස් බෝතලයක් භාවිත කර ඇති බවට විමර්ශනයකින් හෙළි වූ බවයි.
වැරදීමකින් එම බෝතලයක් තරුණියට විකුණා ඇති බවත් හෙළිවී තිබෙනවා.
එලිෆන්ට් හවුස් බෙවරේජස් පැවසුවේ අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම සහතික කිරීම සඳහා බලධාරීන් පසු විපරම් කරමින් සිටින බවයි.
රෝගාතුර වූ තරුණිය සිය මව සමග පසුගිය දෙසැම්බර් 31 වනදා අදාළ ආපන ශාලාව වෙත ගොස් ඇති අතර එහිදී ආහාර අනුභව කරන අතරතුර තරුණිය පැණි බීම බෝතලයක් ඇණවුම් කර තිබෙනවා.
එය පානය කිරීමත් සමග ඇයට වමනය යෑමට පටන් ගෙන තිබෙනවා.
අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා තිබෙනවා.
එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තරුණිය මේ වනවිට සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.