
සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වනාන්තර බුත්තල ප්‍රාදේශීය ලේකම් රසික තිලකරත්න විසින් සමාගම් හා ව්‍යාපාරිකයන් ගණනාවකට නීති විරෝධී ව බදු දීම පිළිබඳ ව පසුගිය දිනවල අප විසින් අනාවරණය කළෙමු. ඊට පිළිතුරු වශයෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කරන්නේ MWFC/1/2020 චක්‍රලේඛය මත පදනම් ව මේ ඉඩම් සමාගම්වලට බදු දීම සිදු කළ බව ය. ඒ අනුව පෙනී යන්නේ මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කළ බවට ඔවුන් විසින් පිළිගෙන ඇති බව ය. මෙම චක්‍රලේඛයට අනුව අලි – ඇතුන් ගේ නිජබිම් හෝ වනාන්තර හෝ යෝජිත රක්ෂිත ප්‍රදේශ බදු දීමේ කිසිදු හැකියාවක් නැත. 2020.11.04 වන දින ප්‍රකාශයට පත් කරන ලද මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මගින් අභියාචනාධිකරණයේ ගොණු කළ අංක CAWRT/436/20 දරන රිට් නඩුකරයට අනුව ද මෙම චක්‍රලේඛය ක්‍රියාත්මත කිරීම අත්හිටුවා ඇත. එසේ තිබිය දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා බුත්තල ප්‍රාදේශීය ලේකම් එක් ව මෙම වනාන්තර ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දීමේ ජාවාරම සිදු කර ඇත.
නීති විරෝධී චක්‍රලේඛය ද උල්ලංඝනය කිරීම
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ හිටපු ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර විසින් නිකුත් කළ නමුත් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලද 2020.11.04 දින අංක MWFC /1/2020 දරන රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය සඳහා වන චක්රලේකයේ සඳහන් වන්නේ ද ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිත කිරීමට ඉඩම් නිදහස් කිරීමේ දී වන අලි සංක්‍රමණික භූමි, ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමේ කාර්යය සහ වන වැස්ම ඉහළ නැංවීම සඳහා භාවිත කළ හැකි ප්‍රදේශ, වෙනත් සුවිශේෂී කරුණු මත සංවර්ධන කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු භූමි ප්‍රදේශ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බව සඳහන් වේ.
එපමණක් නොව මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක විසින් 2021.08.06 වන දින අංක 2/2021 දරන රජයේ ඉඩම් මැන වෙන් කිරීම සඳහා වන චක්‍රලේඛයේ සඳහන් වන්නේ 2020.11.04 දින අංක MWFC/1/2020 දරන චක්‍රලේඛය අනුව ප්‍රාදේශීය ලේකම් සතු වන ඉඩම් සියල්ල මැනීම් කර හඳුනාගැනීම සිදු කළ යුතු බව ය. අභියාචනාධිකරණය මගින් ක්‍රියාත්මක කිරීම අත්හිටවූ මෙම චක්‍රලේඛවල ද රජයේ වනාන්තර ඉඩම් බදු දීමේ ක්‍රියාවලියක් පිළිබඳ ව සඳහන් නොවේ. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි ක්‍රියාත්මක කිරීම අත්හිටවූ මෙම චක්‍රලේඛවලට අනුව දෙමලිය – වන්දම ප්‍රදේශයේ වනාන්තර ඉඩම් අක්කර 5500 ක් බුත්තල ප්‍රාදේශීය ලේකම් වෙත පවරා දී තිබේ. ඒ අනුව තහවුරු වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා බුත්තල ප්‍රාදේශීය ලේකම් එක් ව දෙමලිය – වන්දම – කුඩාඔය වනාන්තර ඉඩම් ජාවාරම සිදු කර ඇති බව ය.
වනාන්තර ඉඩම් ජාවාරමේ අහිතකර ප්‍රතිඵල
මෙම ඉඩම් ජාවාරම හේතුවෙන් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා අලින් සංක්‍රමණය වීම සිදු වන දෙමලිය – වන්දම වනාන්තර ප්‍රදේශය හා අලි – ඇතුන් 120 ක් පමණ නිජබිම් කර ගෙන දිවි ගෙවන මෙම වනාන්තර ප්‍රදේශය එම සතුන්ට අහිමි වී ඇත. මේ නිසා එම සතුන් තෙලුල්ල, ඇතිලිවැව, කිතුල්කොටේ, උල්කන්ඳ, හඳපානාගල සහ පැල්වත්ත ජනපද ලෙස පවතින බ්ලොක් 16 හා 14 යන ගම්මානවලට හා වගා බිම්වලට පිවිසීමෙන් දරුණු අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වී ඇත. එපමණක් නොව හෙක්ටයාර 2694 ක් පුරා ව්‍යාප්ත ව ඇති දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය තුළ හා ඊට මායිම් ව කඩවර වැව, පරළු වැව, දෙමලිය වැව, හුරත්ගමුව වැව හා ගුනේරිස් වැව පිහිටා තිබේ. බදු දී ඇති වනාන්තර ප්‍රදේශය මෙම වැව්වල මෙන් ම කිරිදි ඔයේ ජල පෝෂක ප්‍රදේශ වෙති. මීට අමතර ව මෙම වනාන්තර ප්‍රදේශය උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය යටතේ දෙමලිය – වන්දම වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබුණි. නමුත් ඊට ප්‍රථම මේ සියල්ල සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දී විනාශ කර තිබේ.
වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම
දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය, දෙමලිය – කුඩාඔය යෝජිත රක්ෂිතය ලෙස නම් කර ඇති අතර 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 20(1) වන වගන්තියට අනුව රජයේ වනාන්තරයක් ලෙස මෙම ප්‍රදේශය පාලනය වේ. එම වගන්තියට අනුව එවැනි වනාන්තරයක ශාක කපා ඉවත් කිරීම, වගා කිරීම, තාවකාලික හෝ ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වී සිටීම, මාර්ග සකස් කිරීම හා භාවිත කිරීම වරදකි. එවන් වරදකට අධිකරණයෙන් වරදකරුවකු කරන පුද්ගලයකු වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මෙම දණ්ඩනයන් දෙකට ම යටත් කළ හැකි ය. මෙම දඩුවමට අමතර ව රජයේ වනාන්තරයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් කළ හැකි ය. මෙම ආඥාපනතේ 20(2) වගන්තියේ සඳහන් වන ආකාරයට රජයේ වනාන්තරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර එවන් පුද්ගලයකු මෙම දඩුවම්වලට ම යටත් කළ හැකි ය.