ත්රිකුණාමලය නගරයේ පිහිටා ඇති පෞද්ගලික රෝහලක් තුළ දී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, එම රෝහලේ තෙවන මහලේ නේවාසිකව සිටි 63 හැවිරිදි කාන්තාවක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (05) අලුයම් කාලයේදී ත්රිකුණාමලය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මරණකාරිය විදෙස් ගතව සිට පැමිණි අයෙක් වන අතර ඇය තම ස්වාමි පුරුෂයාට අයත් රෝහලේ 03 වන මහලේ පිහිටි කාමරයක නේවාසිකව සිට තිබෙනවා.
මියගිය කාන්තාව කාමරයට පැමිණෙමින් සිටියදී ඇගේ සැමියාගේ සහෝදරයා විසින් එම ඝාතනය සිදුකරන්නට ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වයස අවුරුදු 55ක් වන ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුද එම මහලේම කාමරයක නේවාසිකව පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෘත ශරීරය මහෙස්ත්රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර, ත්රිකුණාමලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.