
ආණ්ඩුව පරදින පළාත් පාලන ආයතනවලට රජයේ මුදල් නෑ යයි පසුගිය දින ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශය මැතිවරණ අපේක්ෂකයන්ට කළ දරුණු ප්‍රහාරයක් බවත් මැතිවරණ කොමිසම මේ අවනඩුවට සාධාරණ ප්‍රතිචාරයක් ලබා දිය යුතු ව ඇති බවත් මහජන බදු මුදල් එක් පක්ෂයක පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය බලය අවභාවිත කරන්නක් බවත් පවසමින් මෙම ක්‍රියාවලියට විරෝධය පල කරමින් කඩුවෙල නගර සභාව ඉදිරිපස එක්සත් ජනරජ පෙරමුණෙන් තරග වදින නගර සභා අපේක්ෂකයෝ තම නිහඬ විරෝධතාවක් පල කර තිබෙනවා. .
මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ද එක්ව සිටියා.
මෙහි දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් පාඨලී චම්පික රණවක මහතා;
“අපි පසුගිය දා පැමිණිලි දෙකක් මැතිවරණ කොමිෂන් සභාවට කළා. එක පැමිණිල්ලක් ජනාධිපතිතුමා තමන්ගේ පක්ෂයෙන් ජයග්‍රහණය නො කරන අයට කිසිම ප්රතිපාදනයක් දෙන්නේ නෑ කීම මගින් රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කරනවා මේ මැතිවරණයේ දී කියන පැමිණිල්ල. මේ දක්වා මැතිවරණ කොමිසම ඒ ගැන ක්‍රියාත්මක වෙලා නෑ. ඒ වගේ ම අපි පසුගිය දා තව පැමිණිල්ලක් කළා. ඒක තමයි එතුමා කියනවා මේ අස්වැසුම තව ලක්ෂ හතරක් දෙනවා කියලා. ඒකත් එක්තරා විදියක අල්ලසක්. සෑම තැන මාලිමා අපේක්ෂක අපේක්ෂිකාවන් මේ අස්වැසුම දෙන බවට කෙරෙන පත්‍රිකා බෙදා හරිමින් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ නියැලෙනවා. ඉතින් මේවා අපි අතීතෙත් දැකලා තියෙනවා. මේ අශිෂ්ට දේශපාලනය වෙනස් කරන්න තමයි මේ ශිෂ්ටයෝ හැටියට මේගොල්ලෝ ආවේ.
ඒ වගේ ම පසුගිය දා එතුමා බැරෑරුම් ප්‍රකාශයක් කළා මන්නාරමේ දි. ඒ තමයි විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා. මේක 1931 දී ජාතික වනෝද්‍යානයක් කළේ. මේ ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙන්නත් කලින්. එතකොට ඒ වනෝද්‍යානය හරහා පාරක් කපන්න ඕනයි කියලා පුත්තලමේ ඉඳන් මන්නාරමට. මෙතන තිබුණා පාරක්. ඇත්තටම ඒක ආරක්ෂක අංශ යොදා ගත්තේ යුද්ධය කාලයේ ආයුධ පරිහරණය කරන්න. මොකද එල් ටී ටී ඊ ය මුළුමනින් ම විල්පත්තුව අල්ල ගෙන තිබිලා විල්පත්තුවේ ප්‍රධානියා ඇතුළු ඒ පුෂ්පානන්ද මහත්තයා ඇතුළු සියලු දෙනා ම ඝාතනය කළා ආරක්ෂක අංශ නිලධාරිනුත්. ඒ නිසා තමයි ආරක්ෂක හමුදා එතනට ගියේ. දැන් ඒක ස්ථාවර කරන්න බලාපොරොත්තු වෙනවා බැසිල් රාජපක්ෂ මහත්තයත් ඔය උත්සාහය දැරුවා. එතකොට ඒක නැවත කරන්න උත්සාහ කරනවා මේ ජනාධිපතිවරයා. මේවා ඔක්කොම අල්ලස්. දේශපාලන අල්ලස් මේ දේශපාලන අල්ලස් වලට එරෙහිව ක්‍රියා කරන්න තමයි ස්වාධීන මැතිවරණ කොමිසමක් තියෙන්නේ. ඉතින් මැතිවරණ කොමිසම මේ වෙනුවෙන් ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ශිෂ්ට දේශපාලනයක් වෙනුවෙන් ආපු අය පැරණි අල්ලස් දේශපාලනයේ ම නියැලීම ගැන මහජනයා තීන්දුවක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මැයි හය වෙනිදට.”
ප්රශ්නය:
දැන් මේ වෙනකොට මේ රජයේ නිකම් අමුතු වැඩපිළිවෙළක් කරනවා වගේ පෙන්නනවා. දළදා දැක්මවල් පෙන්නනවා?
දළදාව ප්‍රදර්ශනය කිරීම බෞද්ධයෝ හැටියට අපි ඉතා ම අගය කරන්න ඕන දෙයක්. මේ රටේ බෞද්ධ ජනතාවගේ ඒ උරුමය. හැබැයි අපි කනගාටු වෙනවා, ඇතැම් අය ඇතැම් මාධ්‍යවේදීන්, ඇතැම් මාධ්‍ය නාලිකා හරහා මේකත් කැලණි විහාරයේ නයි පෙන්වන සෙල්ලම වගේ දේශපාලන සෙල්ලමක් බවට පරිවර්තනය කිරීම ගැන. මේ හරහා අනුර කුමාර දිසානායක මහත්තයාට පින් අනුමෝදනා කර වීමේ ක්‍රියාවලියක් බවට මේක පත් කිරීම ගැන. මොකද මේ දළදා මාලිගාවට 1988 දි ප්‍රහාරයකුත් එල්ල කළා. දළදා මාලිගාව අල්ල දළදාව අල්ල ගෙන රාජ්‍ය බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක් කළා, ජනතා විමුක්ති පෙරමුණ, ඒවා මේ රටේ මිනිසුන්ට අමතක නෑ. ඒ නිසා මැතිවරණ කොමිසම මේකට මැදිහත් වෙලා මේ මාධ්‍ය පාලනය කළ යුතුයි. මේ හරහා අයථා ප්‍රචාරයක් ලබා ගැනීමට උත්සාහ කිරීම ජනාධිපතිවරයා ඇතුළු මාලිමාවේ අය.
ප්රශ්නය:
දැන් මේ වෙන කොට පිල්ලෙයාන් සී අයි ඩී එකෙන් අත්අඩංගුවට අරන් තියෙනවා. එතකොට ඔහුගේ රියදුරෙක් දැන් අත්අඩංගුවට ගත්තයි කියලා දැන ගන්න තියෙනවා. කොහොමද මේ ගැන ඔබතුමා කියන්නෙ?
පිළිතුර:
පිල්ලෙයාන්; සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගෙන තියෙනවා ඔහු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා පැහැරගෙන ගිහිල්ලා මරා දැම්මයි කියන චෝදනාව මත. එහෙම ඔහු කරලා තියෙනවා නම්, ඒ ගැන සාක්ෂි රහස් පොලිසියට තියෙනවා නම්, ඒ ක්‍රියාව අපි අනුමත කරනවා. ඒක තමයි විය යුතු දේ. හැබැයි අපි කියනවා ඒ අතරේ, මේ රටේ මරා දාපු එක ම උපකුලපතිවරයා නැගෙනහිර උපකුලපතිවරයා නෙවෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර මහත්තයව මරා දැම්මා. ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති පටුවනවිතාන මහත්තයාව මරා දැම්මා. ඒ වැදගත් වෘත්තීයවේදීන් තමන්ගේ කාර්යාලවල දී ම මරා දැම්මා. රහස් පොලීසිය හා පොලිසිය අවංක නම් මේ පරීක්ෂණ ගැනත් සෙවිය යුතුයි. විශේෂයෙන්ම මේ ගැන තොරතුරු ඕන නම් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට ගිහිල්ලා ටිල්වින් සිල්වා මහත්තයාගෙන් ඇහුවා නම් ඒ ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්.
ප්රශ්නය:
දැන් හුඟක් අය විවේචනය කරනවා. ඔබතුමන්ලත් එක්ක සමීප ව වැඩ කරපු, ගම්මන්පිල මහත්තයා පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී හිටීම ගැන?
පිළිතුර:
ඒක ඉතින් ගම්මන්පිලගේ අයිතියක්නේ. ඔහු ගිහිල්ලා ඔහු කරන දේවල් වලට අපි වගකියන්නේ නෑ. ඔහු කරන දේවල් වලට ඔහු ම වගකියයි; අනාගතයේ දි තීරණය වෙයි. සද්භාවයෙන් ද, අසද්භාවයෙන් ද, ඔහු සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයෙක්ද, එහෙම නැත්නම් ඔහුගේ වෙන දේශපාලන අරමුණු තිබුණ ද කියලා අනාගතයේ හෙළිදරව් වෙයි. ඒක ඔහුට අයිති කාර්යයක්.
Media unit